රට තුළ දැනට පවත්නා සෞඛ්‍යමය වාතාවරණය සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන නිර්දේශ හා උපදෙස්වලට අනුකූල ව 2021 පළමු වාරය සඳහා පාසල් ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ තීන්දුවක් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ඉදිරි වර්ෂය වෙනුවෙන් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග හා අදාළ දින නිර්ණය කරගැනීම පිළිබඳ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්රමුඛ සෞඛ්‍ය බලධාරීන් සමඟ පැවැත්වූ විශේෂ හමුවකට එක්වෙමිනි.
2020 වර්ෂයට අදාළ තුන්වැනි පාසල් වාරය පාසල් නිවාඩුව දෙසැම්බර් 24 වැනි දා ආරම්භ කෙරෙන බවත්, මෙම වාරය තුළ පාසල් පැවැත්වීමට හැකිවූයේ දිවයිනේ සමස්ත පාසල් සංඛ්‍යාව වන 10,165ක් අතරින් පාසල් 5100ක පමණක් බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන් අතර, කොවිඩ් හේතුවෙන් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති අවදානම් තත්වයන් හමුවේ පාසල් ආරම්භ කිරීම හෝ වසා දැමීම සම්බන්ධව පොදු තීරණයකට එළඹිය නොහැකි බව ද, මේ වනවිටත් ඇතැම් ප්‍රදේශවල ආරම්භ කරන ලද පාසල් වුව ද පළාත් ආණ්ඩුකාරවරුන්, ඇතුළු පළාත් බලධාරින් සහ විදුහල්පතිවරුන්ගේ සාමූහික තීරණ මත දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් වසා දැමීමට පියවර ගෙන ඇති බව ද පෙන්වා දුන්නේ ය.
කෙසේ වෙතත්, මෙරට පාසල් පද්ධතියෙහි පවත්නා පාසල් අතරින් 43%ක පන්තියක සිසුන් සිටිනුයේ 16-25ත් අතර බවත් දුරස්ථභාවය පවත්වාගැනීම ඇතුළු සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත ව එවැනි පාසල් ආරම්භ කිරීමෙහි ප්‍රායෝගික හැකියාවක් පවතින බවත් පෙන්වා දුන්නේය. එමෙන් ම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදී ඇති, කොවිඩ් හමුවේ පාසල් ආරම්භ කිරීමේ දී අනුගමනය කළ යුතු පොදු උපදෙස් අනුව අවදානම අඩු පාසල්, දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද සඳහා සිසුන් සහභාගී කරවාගැනීමට දුෂ්කරතා පවතින පාසල් සහ වසංගත තත්වය හේතුවෙන් හුදකලා කර ඇති ප්‍රදේශවල සිසුන්ට පාසල් ආරම්භ කිරීමේ දී පවත්නා අභියෝග සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක්විය.
මේ වනවිට රටේ බොහෝ සේවා ස්ථාන, කම්හල්, ව්‍යාපාරික ස්ථාන, විවෘත වී ඇති බවත්, පෙරපාසල් විවෘත නොකිරීම, දිවාසුරැකුම්හල් විවෘත නොකිරීම, සහ ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ නොකිරීම හේතුවෙන් බොහෝ දෙමව්පියන්ට තම දරුවන් රඳවා තබා රැකියාවට යාමේ දී ප්‍රායෝගික දුෂ්කරතාවකට මුහුණ දීමට සිදුව ඇති බව ද, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව ද, සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ඇතිව හැකි ඉක්මණින් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් නැවත විවෘත කිරීමට අදාළ ව කවර තීන්දුවක් ගත්ත ද, එය සෞඛ්‍ය අංශවල පූර්ණ මගපෙන්වීම් හා උපදෙස් අනුව සිදුකරන බව ද, දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින්, එළඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට අපේක්ෂාවෙන් සිටින සිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රමුඛතාව ලබාදෙමින් පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද ඒ සම්බන්ධ දින නිර්ණය කිරීම ඉදිරි සතිය තුළ සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.