සමස්ත ජනගහනයෙන් දැනට 45% ක මට්ටමේ පවතින නළ ජල සැපයුම 2020 වනවිට 60% දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ පානීය ජල සම්පාදනයට සහ සනීපාරක්ෂාවට ලෝක බැංකුවෙන් ඇ.ඩො. මිලියන 165ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම පිළිබඳ නිවේදනය කරමින් මුදල් අමාත්‍යාංශය මෙසේ පවසා සිටින අතර, සුරක්ෂිත පානීය ජලය සපයා ගැනීම සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක් ලෙස රජය පිළිගන්නා බවද අවධාරණය කරයි.
මෙම ඩොලර් මිලියන 165 ක ලෝක බැංකු මූල්‍ය ප්‍රතිපාදන යටතේ මුලතිව්, කිලිනොච්චි, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 7 ක් තුළ ග්‍රාම නිලධාරී වසම් 540 ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට යෝජිත ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය, 2020 වනවිට 60෴ ක් වූ නල ජල සැපයීමේ රජයේ ඉලක්කය සපුරාගැනීමට විශාල දායකත්වයක් සපයනු ඇති බවද අමාත්‍යාංශය පවසයි.
නාගරික නිවාස 26,300 ක්, වතු අශ්‍රිත නිවාස 15,800 ක්, ග්‍රාමීය නිවාස 64,900 ක් වශයෙන් නිවාස 107,000 ක ජීවත් වන 426,000 කට ආසන්න පිරිසකට සුරක්ෂිත පානිය නල ජලය සැපයීමටත්, ග්‍රාමීය හා වතු ආශ්රිත පවුල් 43,000 කට පමණ සනීපාරක්ෂක පහසුකම් සැපයීමටත් සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය 2015-2020 කාලය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියට අදාළ මූල්‍ය ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එචි.එස්. සමරතුංග මහතා සහ ලෝක බැංකුව වෙනුවෙන් එම බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂිකා ෆ්රැන්කොයිස් ක්ලොට්ස් මහත්මිය විසින් මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තබනු ලැබීය.