පසුගිය වසර තුළ චීන-ශ්‍රී ලංකා අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය ශක්තිමත් වූ බවත් ඉහළ පෙළේ චීන-ශ්‍රී ලංකා හුවමාරු පුළුල් ලෙස පැවති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග් මහතා පැවැසීය.
උදාවන නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
ඔහුගේ සුබ පැතුම් පණිවිඩය
ශ්‍රී ලාංකීය මිත්‍රවරුනි, චීන ශ්‍රී ලංකා සබඳතාවට සැලකිල්ල දක්වන මිත්‍රවරුනි,
2021 වසර උදා වේ. චීන රජය මෙන්ම චීන ජනතාව වෙනුවෙන් ද ශ්‍රී ලාංකීය මිත්‍රයන් වෙත නව වසරට හෘදයාංගම සුබ පැතුම් පුද කිරීමට මම කැමැත්තෙමි.
ගෙවී ගිය වසරේ අනපේක්ෂිතව මතු වූ වසංගතය, ගෝලීය උවදුරක් විය. චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකාට සහාය දක්වමින් එක්ව දුෂ්කරතා මඟහරිමින් වසංගත පාලනයට පොදුවේ දැවැන්ත දායකත්වයක් ලබා දීමට හැකි විය. මේ තුළ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සිය දෑතින්ම ත්‍යාග කළ සීලොන් තේ, කෝටි 140ක චීන ජනතාව අමතක නොකරති.
මහින්ද රාජපක්ෂ අගමැතිතුමා වූහන් නගරය වසංගතයෙන් මිදීමට කළ ප්‍රාර්ථනා ද අමතක නොවනු ඇත. එසේම දේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන්ගෙන් ලැබූ ලිපි හා සිතුවම් නිර්මාණ, ශ්‍රී ලංකාවේ විවිධ ආගමිකයින් හා ජන වාර්ගික කොටස් චීනය වෙනුවෙන් අවංකව සුබ පැතීම ද අමතක නොවනු ඇත.
මෙම මහඟු සහායට කෘතගුණ සැලකීමක් වශයෙන්, ශ්‍රී ලංකාවේ වසංගත තත්ත්වය වාර්තා වීමෙන් පසු, චීනයේ විවිධ මට්ටම්වල රජයන්, ව්‍යාපාර හා ජනතාව ද කඩිනමින් ශ්‍රී ලංකාවට හදිසි වසංගත පාලන භාණ්ඩ මෙන්ම මුල්‍ය අනුබලය ද ලබා දුන්හ. දෙරටේ පොදු ප්රයත්නය යටතේ, වසංගතය ව්‍යාප්ත වූ වසරක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් හා චීන ජාතිකයින් අතර අන්‍යෝන්‍ය වශයෙන් රෝග බෝවීමේ සිද්ධියක් වාර්තා නොවීම, ආඩම්බරයට හා සැනසීමට කරුණක් ලෙස සලකමි. දෙරට අතර මිත්‍රත්වය මෙවන් සිදුවීම් තුළින් තහවුරු වී තිබේ.
පසුගිය වසර තුළ ඉහළ පෙළේ චීන-ශ්‍රී ලංකා හුවමාරු පුළුල් ලෙස පැවති අතර අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය ශක්තිමත් විය. දෙරටේ නායකයින්ගේ පොදු අදහස්වල උපදෙස් අනුව, දෙරට අත්වැල් බැඳ විපර්යාසයෙන් සපිරි ජාත්‍යන්තර තත්ත්වයන්ට මුහුණ දෙමින්, ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ හා ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තිය ගැඹුරට අනුකූල වීම ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර ඇත.
කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය ඇතුළු විශාල සහයෝගිතා ව්‍යාපෘති සරුසාර ප්‍රතිඵල දිනා ගෙන ඇත. ජාත්‍යන්තර මුල්‍ය සේවා මධ්‍යස්ථානය, සීලොන් ටයර් කම්හල ඇතුළු වැදගත් ආයෝජන ව්‍යාපෘතිවල ඉදි කිරීම් නුදුරේදී ආරම්භ වනු ඇත. අවසානයට ළඟා වූ ජාතික වකුගඩු රෝහල් ව්‍යාපෘතිය, චීන ශ්‍රී ලංකා ජල තාක්ෂණික පර්යේෂණ මධ්‍යස්ථානය ඇතුළු සහනාධාර ව්‍යාපෘති භාවිතයට ගැනීමට ආසන්නය. ඒවා ශ්‍රී ලංකාවට වැදගත් ආයෝජන හා රැකියා නියුක්ති අවස්ථා මෙන්ම බදු ආදායම් ද ලබා දී ඇති අතර රටේ ආර්ථික පුනර්ජීවනයට, අඛණ්ඩ සංවර්ධනයට හා දිළිඳුකම පිටුදැකීමට ද වැදගත් දායකත්වයක් ලබා දී ඇත.
නව වසරේදී චීන ශ්‍රී ලංකා මිතුදම හා ප්‍රායෝගික සහයෝගිතාව නව අවධියකට මුහුණ දෙයි. චීන තානාපතිවරයා වශයෙන් දෙරටේ විවිධ පර්ෂදවල මිත්‍රයන් සමග එක්ව උපායමාර්ගික අදහස් හුවමාරු හා ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කරමින්, චීනය හා ශ්‍රී ලංකාව අතර අවංක අන්‍යෝන්‍ය සහාය මගින්, පාරම්පරික උපායමාර්ගික මිත්‍රත්ව සහයෝගිතා හවුල්කාරීත්වය නව තලයකට ඉහළ නංවාලීමට පොදුවේ තැත් කිරීමට කැමැත්තෙමි. මානවයාගේ සෞඛ්‍යය පිළිබඳ පොදු ප්‍රජාවක් හා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ඉදිරියට මෙහෙයවීමට කැප වෙමු!
සැමට සුබ නව වසරක් වේවා. නීරෝගී වේවා. ප්‍රීතිමත් වේවා