2020 දෙවැනි කාර්තුවට අදාළ දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත නිකුත් කිරීම 2020 දෙසැම්බර් 15 දින දක්වා ප්‍රමාද කරනු ලබන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ 2020 තුන්වැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු සමග ඉහත ඇස්තමේන්තු එදිනට ප්‍රකාශයට පත් කරනු ලබන බවයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ මෙසේය.
"2020 දෙවැනි කාර්තුව (අප්‍රියෙල් 1 සිට ජුනි 30 දක්වා) ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 වසංගතය පැතිරීම හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් රට සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දමා තිබූ කාර්තුවයි. එම කාලය තුළ බොහෝ ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ වී ඇති බව පැහැදිලිය. වෙනත් ආර්ථික ක්‍රියාකාරකම් වෙනදාට වඩා වෙනස් ආකාරයකින් සිදු වූ අවස්ථා තිබේ. සමහර ආර්ථික ක්‍රියාකාරකම් කොවිඩ්-19 විසින් දිරිමත් කරන ලදී."
"මෙම සන්දර්භය තුළ, ඇතැම් කර්මාන්ත හා සේවා ක්‍රියාකාරකම්වල නිමැවුම් වටිනාකම තක්සේරු කිරීමේ ක්‍රම ජාත්‍යන්තර උපදේශකයින් සමඟ සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය වේ. ඉහත සඳහන් ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ දත්ත වෙනත් ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමට ද තීරණය විය. 2020 තුන්වැනි කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු සමග ඉහත ඇස්තමේන්තු 2020.12.15 දින ප්‍රකාශයට පත් කිරීමට අපි තීරණය කර ඇති බව කාරුණිකව දන්වා සිටිමු."