ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් 167දෙනෙකු සහ නාවිකයන් 10,002දෙනෙකු 2019 මාර්තු සිට 2023 දෙසැම්බර් 31 දක්වා සේවය අතහැර ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වේ. එම විගණන වාර්තාව පෙන්වා දෙන්නේ එම තත්ත්වය අවම කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග නාවික හමුදාව මගින් මෙතෙක් නොගෙන ඇති බවයි.
මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ නාවික හමුදාවේ 2023 වාර්ෂික වාර්තාවකට අනුව බව එම විගණනය මගින් පෙන්වා දෙයි. 2019 වර්ෂයේ සිට 2023 අතර කාලසීමාව තුළ නාවික නිලධාරීන් 537ක් සහ නාවික භටයන් 17,734ක් නාවික හමුදාවට බඳවා ගෙන ඇත. එහෙත් විශ්‍රාම ගිය හා සේවය අතහැර ගිය නිලධාරීන් පිරිස 580ක් හා නාවික භටයන් 1,734ක් බව එම විගණන වාර්තාව පදනම් කරගෙන තොරතුරු හෙළි කර ඇත.
නාවික හමුදාවෙන් ඉවත් වූ සංඛ්‍යාවට සාපේක්ෂව බඳවා ගන්නා ප්‍රමාණය 52%ක පහළ මට්ටමක පවතින බවද විගණනය මගින් පෙන්වා දෙයි. මේ අතර නාවික යාත්‍රා 63ක් 2023 වසර අවසානය වන විට අක්‍රියව ක්‍රියා විරහිතව බවතින බවද පෙන්වා දෙයි.
වෙරළ නිරීක්ෂණය යාත්‍රා 06ක් සහ වේග ප්‍රහාරක යාත්‍රා 03ක්, ආරක්ෂක ප්‍රහාරක යාත්‍රා 31ක්, වෙරළ නිරීක්ෂක මුර යාත්‍රා සහ මගී ප්‍රවාහන යාත්‍රා සහ භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා 04ක් ඊට ඇතුළත් වේ. නෞකා හා බෝට්ටු යාත්‍රා අලුත්වැඩියාව වෙනුවෙන් රුපියල් කෝටි 1,785ක් වැය වන අතර, පැවති ප්‍රතිපාදනවලින් රුපියල් කෝටි 1,273ක් වැය කර ඇති බව පෙන්වා දෙයි. වැලිසර නාවික හමුදා රෝහලේ 2000 වර්ෂයේ සිට 2023 ජූලි මස 30 දක්වා නේවාසිකව හා බාහිර ප්‍රතිකාර ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 60%කින් වර්ධනය වී ඇති බව සඳහන් වේ.
එහෙත් රෝහල් කාර්යමණ්ඩලය365 සිට 286 දක්වා අඩු වීමෙන් රෝහල් සේවා කටයුතුවලදී එම කාර්යමණ්ඩලය දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව විගණන නිලධාරීන් අනාවරණය කරන ලදී. මේ සම්බන්ධයෙන් විගණනය විසින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරියගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම තොරතුරු සමහරක් සත්‍යයෙන් තොර බවයි. පසුගිය කොරෝනා පැවති සමයේ සහ රටේ පැවති ආර්ථික අර්බුදය මෙන්ම තරුණයන් නාවික හමුදාවට බැඳීමට තිබූ මැලිකම නිසා නවක සෙබළුන් බඳවා ගැනීමට නොහැකි වූ බව කපිතාන්වරයා පවසා ඇත.
නාවික නෞකා 63ක් අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් විගණනයට අදහස් දැක්වූ කපිතාන්වරයා පැවසූයේ මේවා නෞකා නොවන බවත් මේවා නෞකා නොව නාවික හමුදාවේ කුඩා යාත්‍රා 63ක් වන බවත්ය.
චන්දන සමරවික්‍රම