පාසල්වලට අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වන ක්‍රියාවලිය පුළුල් කිරිමට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ.
ඒ අනුව, පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම වඩාත් විනිවිදභාවයකින් හා ක්‍රමවත්ව සිදුවිය යුතු ක්‍රියාවලියක් ලෙස හඳුනාගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ උපදෙස් හා මෙහෙයවීම මත ප්‍රථම වරට 2019 වසරේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ දී දෙමවුපියන්ට තම දරුවන් ඇතුළත් කිරීමට ඉල්ලුම් කරන අවස්ථාවේදීම එක් එක් පාසල්වල පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව හඳුනාගැනීමේ අවස්ථාව අධ්‍යාපන අමාත්‍යාංශය සලසා දි ඇත.
2019 වසරේ 1,5, 6 ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණි සඳහා ජාතික පාසල් වෙත සිසුන් ඇතුළත් කරගැනීම අධ්‍යාපන ලේකම්ගේ 2008/37 චක්‍රලේඛ ප්‍රකාරව සිදුකෙරෙන අතර, පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සීමාව අනුව පවත්නා පුරප්පාඩු මත අදාළ ඇතුළත් කරගැනීම් සිදුකිරීමට නියමිතයි.
වසරක් පාසා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම සිදුකෙරෙන නමුත් ඉල්ලුම්කරන පාසල්වල පවත්නා පුරප්පාඩු සම්බන්ධව නිශ්චිත පූර්ව අවබෝධයක් දෙමවුපියන්ට ලබාදීමට ප්‍රථම වරට කටයුතු කෙරෙනුයේ මේ වසරේ සිටයි.
පුරප්පාඩු සහිත පාසල් නාම ලේඛනය සහ අයදුම්පත් එවිය යුතු ආකාරය සම්බන්ධ සියලු තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk දරන නිල වෙබ්අඩවියෙන් ලබාගත හැකියි.
කෂිනි හපුආරච්චි