මේ වසරේදී රාජ්‍ය ආයතන විසිඑකක රාජ්‍ය නිලධාරීන් තිස්පස් දෙනෙකු ඇතුළු පුද්ගලයන් හතළිස් දෙනෙකු අල්ලස් ලබාගැනීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.
එකී පිරිස අතර පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ නිලයන් හොබවන නිලධාරීන් නව දෙනෙක්ද වෙති.
මෙම වසර තුළ සිදුකළ විශාලතම අල්ලස් වැටලීම කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරාදීම සඳහා අනුමැතිය ලබාදීමට ඉන්දීය ජාතිකයෙකුගෙන් රුපියල් මිලියන 540ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යමණ්ඩල හිටපු ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම බවද පොලිස් අධිකාරීවරයා පැවසීය.
ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති, ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ ආනයන අපනයන පාලක, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහකාර නීති නිලධාරී හා එහි සූත්‍ර කමිටුවේ සාමාජිකයෙකු, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පෞද්ගලික බස් ස්ථානාධිපතිවරයෙකු, වේලා සටහන්කරුවෙකු, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශකවරයෙකු, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු වන නිලධාරීවරයෙකු, දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ කර්මාන්ත පරිපාලකවරයෙකු, නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් නිලධාරීවරයෙකු, විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයෙකු, එහි කාර්යාල කාර්ය සහායකයෙකු, පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවෙකු, සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු නියාමකවරයෙකු, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීවරයෙකු, ජනපද නිලධාරීවරයෙකු, කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරීවරයෙකු, එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු, ප්‍රා‘දේශීය සභාවක සංවර්ධන නිලධාරියෙකු, මහවැලි අධිකාරියේ ඒකක කළමනාකරුවෙකු, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ධීවර පරීක්ෂකවරයෙකු මෙන්ම ග්‍රාම නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අනෙකුත් පිරිස අතර වන බවද අධ්යක්ෂවරයා කීය.
පොලිස් දෙපාර්තමේන්තුවේ අල්ලස් ලබාගැනීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර සහකාර පොලිස් අධිකාරීවරයෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් පරීක්ෂකවරයෙකු, උපපොලිස් පරීක්ෂකවරයෙකු, සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක් වෙති.
2017 වසරේදී සිද්ධීන් තිස්නවයකට පුද්ගලයන් පනස්එක් දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර ඇතැයිද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ