20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ නිවැරදි විය යුතු වගන්ති හා ඊට ඇතුළත් විය යුතු වගන්ති එක් කර නව කෙටුම්පතක් ගැසට් කිරීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පැවසීය.
පසුගිය සෙනසුරාදා ජනාධිපතිවරයා සමග මේ පිළිබඳ පැවැති සාකච්ඡාවකදී ඊට සහභාගි වූ සංවිධාන ඉදිරිපත් කළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බවද කුමාරතුංග මහතා කියා සිටියේය.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය තාවකාලික ව්‍යවස්ථා සංශෝධනයක් බැවින් එහි සියල්ල නිවැරදි කිරීම බලාපොරොත්තු විය නොහැකි බවත්, 20 වැනි සංශෝධනය මගින් රජය අපේක්ෂා කරනුයේ රට ගොඩනැගීමට ජනාධිපතිවරයාට පැවැති බාධා ඉවත් කිරීම බවත් කුමාරතුංග මහතා ප්‍රකාශ කළේය.
කුමාරතුංග මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (13දා) කොළඹ, සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාරතුංග මහතා,
"20 වැනි සංශෝධනයේ නිවැරදි විය යුතු කරුණු තියෙන බව අපි පැවසුවා. පසුගිය සෙනසුරාදා යුතුකම ජාතික සංවිධානය, ජාතික එකාබද්ධ කමිටුව ඇතුළු නියෝජිතයන් පිරිසක් ජනාධිපතිතුමා මුණගැහිලා මේ ගැන කතා කළා. ජනාධිපතිතුමා එකඟ වුණා දැනට ගැසට් කරලා තියෙන 20 වැනි සංශෝධන කෙටුම්පතේ නිවැරදි විය යුතු බවට පෙන්වූ කරුණු නිවැරදි කරලා නැවත ගැසට් කරන්න.
අගමැතිතුමත් පක්ෂ නායක රැස්වීමේදී එකඟ වෙලා තියෙනවා ඒ ගැන නැවත අධ්‍යයනය කරන්න. විවේචන හමුවේ සංවේදී වෙලා අලුත්ම කෙටුම්පතක් ගැසට් කරන්න රජය ඉදිරිපත් වීම ගැන අපි සතුටු වෙනවා.
19 වියවුල් සහගත තත්ත්වයෙන් යම් ලෙසකින් හෝ මුදවාගන්නට 20 වැනි සංශෝධනය හරහා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව රටට තියෙනවා. නව ව්‍යවස්ථාවක් හදන්න මේ වෙද්දි කටයුතු කරමින් පවතිනවා.
19 තිබූ කැබිනට් අමාත්‍ය ධුර හා රාජ්‍ය අමාත්‍ය ධුර සීමාව, ද්විත්ව පුරවැසියන්ට මැතිවරණයකට ඉදිරිපත් වීම සදහා පනවා තිබූ සීමා, විගණන පනත සම්බන්ධ වගන්තිය වැනි වගන්ති කිහිපයක් 20 වැනි සංශෝධනයට ඇතුළත් විය යුතු කරුණු බවට අදහස් පළ වුණා.
ජනාධිපතිවරයා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා වගේ ඒකාධිපතියෙක් නොවිය යුතුයි වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වගේ අකාර්යක්ෂම පාලකයෙක් නොවිය යුතුයි. එක රටක් එක නීතියක් කියන එක මත පිහිටලා කටයුතු කළ යුතුයි. ඒ වගේම දූෂිත පාලකයන් බිහිකරන සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුයි" යැයි ද පැවසීය.
මෙහිදී මාධ්‍යෙව්දින් නැගු ප්‍රශ්නවලටද කුමාරතුංග මහතා පිළිතුරු දුන්නේය.
ප්රශ්නය - 20 වැනි සංශෝධන කෙටුම්පතට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ලබා ගන්න පුළුවන් වෙයිද?
පිළිතුර- තුනෙන දෙක ලබා ගන්න ගැටලුවක් වෙයි කියලා හිතන්නේ නෑ. දැන් අපි වෙනස් විය යුතු යැයි කියපු වගන්ති වෙනස් කරනවා නම් තුනෙන් දෙක ගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. මේ වෙද්දි 20 වැනි සංශෝධන කෙටුම්පත ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒක වෙනස් කරන්න අගමැති, ජනාධිපති එකඟ වෙලා තියෙනවා.
ප්රශ්නය - 20 වැනි සංශෝධන කෙටුම්පත හැදුවේ කවුද?
පිළිතුර - ඒ ගැන නම් මම කියන්න දන්නෙ නෑ. 20න් සියල්ල නිවැරදි කරන්න බලාපොරොත්තු වෙන්න එපා කියන එක අපි ජනතාවට කියනවා. 20 වැනි සංශෝධනය තාවකාලිකව ගෙනාපු එකක්. ජනාධිපතිවරයාට රට ගොඩනැගීමට තිබුණ බාධා ඉවත් කරන්නයි 20 වැනි සංශෝධනය ගෙනාවේ.