(UPDATE) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක නිලධාරින් 50 දෙනෙකු ඉවත් කිරීමට ගත් තීරණය අත්හිටුවා ඇතැයි පොලීසියේ ප්‍රකාශකයෙකු පැවැසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි තවත් පොලිස් නිලධාරීන් 50 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (07දා) යළි පොලිස් දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම පොලිස් නිලධාරීන්ගේ සේවය අවශ්‍ය බවට මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ දිනයේදී ලිඛිතව දැනුම්දී තිබූ අතර, ඒ අනුව එම පොලිස් නිලධාරීන් පනස්දෙනා තම බඩුබාහිරාදිය රැගෙන පොලිස් දෙපාර්තමේන්තුවට ගොස් තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් කටයුතු කර ඇති මෙම පොලිස් නිලධාරීන්, ඒ මහතාගේ දෛනික දින චර්යාව පිළිබඳව අවබෝධයක් තිබුණු අය බවද පැවසේ.
මීට පෙර අවස්ථාවලදී මෙන් නොව නිලධාරීන්ගේ නම් සඳහන් කරමින් මෙවර පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝගය එවා තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සඳහන් කළේ, මැයි දින රැලියෙන් පසුව දැනට මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් 92ක් ඉවත්කර තිබෙන බවයි.
මේ අතර තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති 'රටට උවමනා වම' කෘතිය එළි දැක්වීමේ උත්සවයට සහභාගිවෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා සඳහන් කළේ, මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් 50 දෙනෙකු ඉවත් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා නිවසට කොටුකිරීමේ අදහසින් බවයි.
හිටපු ජනාධිපතිවරයා මහජනයා අතරට යෑම වැළැක්වීම සඳහා ආණ්ඩුව මෙම උත්සාහය දරා ඇති බවද හෙතෙම පවසා සිටියේය.
“මැයි දිනය ඉවරවුණු ගමන් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් 42ක් ගත්තා. සාගල රත්නායක ඇමතිතුමා කියනවා ආරක්ෂාව කලින්කලට තක්සේරු කරලා වෙනස්කම් කරනවා කියලා. තක්සේරු කරන්නේ පූජිත පොලිස්පතිතුමා. ඔව් සර්, රයිට් සර්, ආරක්ෂකයන් අයින් කරන්නම් සර් කියලා තක්සේරු කරලා. අදත් තව 50ක් තක්සේරු කරලා අයින් කරලා. දිනපතා තක්සේරු කරනවා. දෙවැනිදා වෙනකොට 42යි. අද පනහයි.
ආර්ථිකය කුණු කොල්ලයට දීලා රාජ්‍ය බෙලහීන කරන ගමනට විරුද්ධ සටනේ නායකයා අනාරක්ෂිත ඉරණමකට ඇදවට්ටනවා. මේ දෙන පණිවිඩය මොකද්ද? දිවි රැකගන්න ඕනනම් ගෙදරට වෙලා ඉන්න. එළියට බහින්න එපා. මේකයි දෙන පණිවිඩය. මැතිවරණයක් එන කාලෙට තක්සේරු කරලා දහයක් විතර ඉතුරු කරන්න පුළුවන්* යනුවෙන් පවසා සිටියේය.මේ අතර පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතාද සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ දෛනික ගමන් බිමන් සීමා කිරිම සදහා මේ ආකාරයට පොලිස් නිලධාරින් කැදවා තිබෙන බවයි.
පසුගිය මැයි රැලිය සාර්ථක වීමට ප්‍රධාන වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් දෛනිකව අවස්ථා ගණනාවකදී මහජනයා අතරට යෑම හේතු වුනු බවද ඒ මහතා කීවේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ ජිවිතයට අනතුරක් කිරීම සදහා සතුරාට අවස්ථාවක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සදහන් කළේය.