අද කතුවැකිය
පසුගිය දින කිහිපයේදී විවිධ හේතු මුල් කර ගනිමින් රට පුරා තැනින් තැන මතුවන ජාතිවාදී ස්වරූපයේ අර්බුද වහාම නතර කිරීමට ශ්රී ලාංකිකයන් වශයෙන් සමස්ත ජනතාවටම වගකීමක් ඇති බව අපි මතක් කර සිටිමු.
වසර 30ක විනාශකාරී යුද්ධයක් නිමා වී හුස්ම ගැනීමටත් පෙර යළිත් වතාවක් තවත් මුහුණුවරකින් විනාශය අත්පත් කර ගැනීමට උත්සාහ කරන ශ්රී ලාංකිකයන් තමන්ගේ අනාගත පරපුරට ඉතුරු කරන්නට හදන්නේ සොහොන් පිටියක් සහ කාන්තාරයක් පමණද යන සැකය මතුවෙයි. ඉදිරි පරම්පරාවක් ගැන නොසිතන තමන්ගේ ගොඩ පමණක් වැඩි කර ගැනීමට කටයුතු කරන තම තමන් අයත් වන ජාතියේ ශක්තිය පෙන්වීමට උත්සාහ කරන අනුවණයන්ගේ ක්රියා නිසා සමස්ත රටම විනාශය කරා ගමන් කිරීම වැළැක්වීමට අපි සැවොම උත්සාහ කළ යුතු වෙමු.
'අඬන්න ඉන්න මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වාගේ' කියා කියමනක් තිබේ. එසේම අහක යන නයි ඇඟේ දමාගෙන කනෝ කනෝ කියා කියන්නට එපා^ කියාද කියමනක් තිබේ. රටේ තැනින් තැන ගැටුම් අවුළුවන සියලුම ජාතීන්ට අයත් පුද්ගලයන්ට මේ කතා දෙක මතක් කර දිය යුතුව තිබේ.
ශ්රී ලාංකිකයන් ලෙස අපට සටනක් තිබේ. එනම් දුප්පත්කමට එරෙහි සටන සහ අවස්ථාවාදීව තමන්ගේ බලය රැකගැනීම සඳහා රටේ ජනතාව උසිගන්වන කුහක දේශපාලඥයන් පන්නා දැමීමේ සටනයි. එහෙයින් ශ්රී ලාංකියනි, එකිනෙකාට වෛර කිරීම නතර කරව්!