ශ්‍රීලනිප 65වැනි සම්මේලනය
ජනපති මෛත්‍රීට දෙපසින් ඇති
පුටු මහින්දට හා චන්ද්‍රිකාටයි
- ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයේදී පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අසුන් ගැනීම සඳහා වෙන් කෙරෙන පුටුවේ දකුණු හා වම් පස පුටු වෙන්ව ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
කුරුණෑගලදී පැවැත්වෙන පක්ෂ සම්මේලනයට පැමිණෙන ලෙස පක්ෂයේ අනුශාසකවරුන් ලෙස කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතාට හා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ආරාධනා පත්‍ර යවා තිබෙන බවත්, එම ආරාධනා පත්‍ර ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් විසින් බාර දී තිබෙන බවත් ඔහු පවසා සිටියේය. ඔවුන් එම ආරාධනාව පිළිගෙන ඇතැයිද ඒ මහතා කියා සිටියේය.
ඊයේ (18දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේපසුගිය වසරේ පැවැති සම්මේලනයේදී මෙන්ම ලබන මස හතර වැනිදා කුරුණෑගලදී පැවැත්වෙන පක්ෂයේ 65 වැනි සංවත්සරයේ දීද ඊට සහභාගි වන්නැයි එක්සත් ජාතික පක්ෂයට ද ආරාධනා කර තිබෙන බවයි.
පක්ෂයේ සියලුම සාමාජිකයන්ට පක්ෂ සංවත්සරයට පැමිණෙන ලෙස ලිපි මගින් මේ වනවිට ආරාධනා කර තිබෙන බවත්, ඉදිරි දිනවලදී ආරාධනා පත්‍රයක් යවමින්ද ආරාධනා කරන බවත් ඔහු සඳහන් කළේය.
පක්ෂයේ ආසන සංවිධායක ධුර අහිමි වුවද පක්ෂ සාමාජිකත්වය අහිමි කර නොමැති නිසා සියලුම දෙනාට මෙම සංවත්සර උත්සවයට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙන බවද මහලේකම්වරයා කියා සිටියේය.
සංවිධායක ධුර අහිමි වූයේ පක්ෂයේ කටයුතු නිසි ලෙස කටයුතු නොකිරිම නිසා බවත්, පෙරේදා (17දා) දිනයේදී ආසන සංවිධායක ධුර ලැබූ අය හෝ මීට පෙර ආසන සංවිධායක ධුර ලැබූ අය වුවද පක්ෂයේ කටයුතු නිසි පරිදි සිදු නොකළහොත් ආසන සංවිධායක ධුර අහිමි වී යා හැකි බවද දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.
පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු මේ වනවිට සිදුකරමින් තිබෙන බවත්, එහිදී සංවිධායකවරුන් නොමැති ආසනවලට සංවිධායකවරුන් පත් කිරීම හා වැඩ නොකරන ආසන සංවිධායකවරුන් ඉවත් කිරීම සිදුවන බවත් හෙතෙම පවසා සිටියේය.
පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු කිරීමේදී පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටිනවාද, එසේත් නොමැති නම් හිටපු සභාපති මහින්ද රාජපක්ෂ මහතා සමග සිටිනවාද යන්න සලකා නොබලන බවත්, සලකා බලන්නේ පක්ෂයේ කටයුතු නිසි ලෙස සිදු කරනවාද යන්න පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.
පෞද්ගලික හේතු සලකා බලා තනතුරුවලට පත් නොකරන බැවින් ආසන සංවිධායක ධුර අහිමි කිරිම තවත් පක්ෂයක් නිර්මාණය කිරීමට හේතු වෙතැයි සිතිය නොහැකි බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ඕනෑම අයෙකුට ඕනෑම පක්ෂයක් නිර්මාණයකිරීමේ අයිතිය තිබෙන බවත්, එහෙත් මෙම සිද්ධිය පාදක කරගෙන එවැනි දෙයක් සිදු වනු ඇතැයි සිතිය නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.
ශ්‍රීලනිප 65වැනි සංවත්සරයට මහින්ද නෑ
සමුළුව පැවැත්වෙන දින කිහිපයේදී රාජකාරි කටයුත්තකට විදේශගත වෙයි
- පා. ම.එස්.එම්.චන්ද්‍රසේන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65වැනි ජාතික සම්මේලනයට සහභාගි නොවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.මෙම සම්මේලනය එළඹෙන 04 වැනිදා කුරුණෑගලදී පැවැත්වීමට නියමිතව පවතී.
මිරිහානේ පිහිටි නිවසේ පෙරේදා (17දා)රාත්‍රියේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් ප්‍රධානීන් විසින් ආසන සංවිධායකවරුන් සහ පාක්ෂිකයන්ට සිදුකරන අසාධාරණකම් හේතුවෙන් මෙවැනි සමුළුවකට සහභාගි වුවහොත් පාක්ෂිකයන් තමන්ට දොස් කියනු ඇති බවත්,සමුළුව පැවැත්වෙන දින කිහිපයේදී රාජකාරි කටයුත්තකට විදේශගතවන බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා ඊයේ(18දා) පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමද මෙම සමුළුවට සහභාගි නොවීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත කළ ආකාරය සම්බන්ධව නීතිමය ගැටලුවක් පැන නැගී තිබෙන බැවින්, එම කරුණ අන්තර් පාර්ලිමේන්තු සංගම් කාර්යාලයට පැමිණිලි කිරීමටද පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව හෙතෙම පවසා සිටියේය.
මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.එම්.චන්ද්‍රසේන මහතා,
“ප්‍රථමයෙන්ම මධ්‍යම කාරක සභාවෙන් හතර දෙනෙක් අස් කළා.මමත් එක් අයෙක්.මම 91 දි ඉපලෝගම ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක හැටියට ඉස්සෙල්ලාම තේරුණා.ඉන්පසුව උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු හැටියට,පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හැටියට,ඇමතිවරයෙකු හැටියට මේ ගමන ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල සේවයක් කරලා ජනතාවගේ විශ්වාසය දිනාගනිමිනුයි.
ගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මහවැලි කේන්ද්‍රයට ගිහින් නාමයෝජනා දීලා එනකොට මගේ ආසන සංවිධායකකම අයින් කරලා තිබුණා. 2010,2015 මැතිවරණවලදී මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළමුවැනියා වුණා.මේවිදියට සිටින අපි වැනි අයගෙන් පළිගන්නකොට සම්මේලනයට යන්නේ කොහොමද කියලා මම හිටපු ජනාධිපතිතුමාගෙන් ඇහුවා.
“දේශපාලන පළිගැනීම් කරමින් පක්ෂයේ ශක්තිමත්ම සංවිධායකවරුන් අයින් කරලා තියෙනවා.ඒ නිසා ඔයාලට යන්නත් බෑ,මට මේකට සහභාගි වෙන්නත් බෑ.සහභාගිවුණාට පස්සෙ පාක්ෂිකයො අපට දොස් කියාවි.ඒ නිසා මමනම් මේකට සහභාගි වෙන්නෙ නෑ.අපට මෙතරම් අසාධාරණකම් සිදුකරද්දි අපි කොහොමද පෙනී හිටින්නේ.පාක්ෂිකයන් විශාල පිරිසක් අයින් කරලා තිබියදී මම කොහොමද යන්නේ.ඒ නිසා සමුළුවට මම යන්නෑ* කියලා හිටපු ජනාධිපතිතුමා එවිට කිව්වා.
ජෝන් සෙනෙවිරත්න ඇමතිතුමා ආරාධනා පත්‍රයක් දීලා තිබුණා.ගෙදරට ඇවිත් බාර දුන්නු නිසා ඒක පිළිඅරන් තිබුණා.එහෙම පිළිගත්තට මෙහෙම ගැටලු තිබෙන නිසා සහභාගි නොවී එම කාලසීමාවේ ලැහැස්ති කරලා තියෙන විදේශ ගමනකට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා ප්‍රකාශ කළා.යන්නේ කුමන රටටද කිව්වෙ නෑ යනුවෙන් පවසා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ/ අමිත් මධුරංග