පසුගිය කාලය තුළ අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ රියදුරු වශයෙන් කටයුතු කළ අවුරුදු 84 ක වයස්ගත පියෙකු ඉතා අසරණව සිටින පුවතක් හපුතලේ වල්ගහවෙල ප්‍රදේශයෙන් වාර්තා විය.
ජෝන් පීරිස් නමැති මෙම පියා 70/77 රජය සමයේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි ඩබ්.ජී.ජී.ආරියදාස මහතාගේ රියදුරු ලෙස හා කථානායකවරයාව සිටි වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ රියදුරු ලෙස සේවය කර තිබේ.
"මට දරුවන් 07 දෙනෙක් සිටිනවා. ගැහැනු දරුවන් 4 ක් හා පිරිමි දරුවන් 3 ක් ඉන්නවා. දරුවන් සියලු දෙනාටම මගේ දෑතේ ශක්තියෙන් වාහන එළවලා හම්බ කරපු මුදලින් උගන්වලා ලොකු මහත් කරලා විවාහ කරලා දුන්නා. වසර ගනණාවක් හපුතලේ වල්ගහවෙල මගේ ඉඩමට ඔප්පුවක් තිබුණෙ නැහැ. ළඟදි තමයි මේ ඉඩමට ඔප්පුව ලැබුණේ. ඉන් පසු ගෙදර පදිංචි ළමයි ටිකයි බිරිඳයි එකතු වෙලා මාව ගෙදරින් එළියට ඇදලා දාලා දොර වැහුවා.
මට කියන්න කෙනෙක් නැහැ. ඉන්න තැනක් නෑ. වැලිමඩ පාර හදන අය මට පාර අයිනේ පොඩි පැලක් අටවලා දුන්නා. ඒකෙ තමයි මම දැනට ජීවත් වෙන්නේ. මට දරුවන්ගෙන් සලකන්නේ ලොකු දුවයි, ලොකු පුතයි විතරයි. ඒ අය එවන මුදල්වලිනුයි රජයෙන් ලැබෙන වැඩිහිටි ආධාර මුදලින් තමයි මම උයාගෙන කන්නේ. ලොකු දුවයි, ලොකු පුතයි මට ඒ අය ළඟ ඉන්න කියනවා ඒ උනත් ඒ අයගේ දරුවොත් එක්ක මට උදවු කරන්න ඒ අයට අමාරු නිසා ඒ අයට කරදරයක් වෙන්න මම කැමති නැහැ. මම කවුරු හරි බලධාරියෙක්ගෙන් ඉල්ලන්නේ මට හැකි ආකාරයෙන් උදව්වෙන්න කියලයි" යැයි පැවසීය.
නයනානන්ද බුවනෙක