රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා වැඩවර්ජනයක් දියත් කළද ඒ සඳහා සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සම්බන්ධ නොවූ බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සේවය කරනු ලබන්නේ ළමා රෝහල තුළ බවත්, එම රෝහල තුළ කිසිදා වැඩවර්ජනයක් සිදුකර නොමැති බවද අද (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
එහෙත් සභාපතිවරයා පෞද්ගලික අංශයේ ප්‍රතිකාර කිරීමෙන් ඉවත්ව සිටින බවත්, එවැනි තත්ත්වයන් තුළ වර්තමාන දේශපාලඥයින් නවලෝක රෝහලෙන් නිකුත් කළ රිසිට්පතක් උපයෝගී කරගෙන මඩගැසීමේ ව්‍යාපාරයක් දියත් කරමින් සිටින බවද පවසා සිටියේය.