අස්ථි රෝග කල්තියා හඳුනාගත හැකි වෛද්‍ය විද්‍යාත්මක සූචියක් (Needle) ලංකාවේ ප්‍රථම වරට මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශය නිපදවා තිබේ.
මෙමගින් අස්ථිවල ගුණාත්මකභාවය ගණනය කළ හැකි අතර, සජීවීව සහ ශල්‍යකර්ම අවස්ථාවකදී වුවද වෛද්‍යවරයෙකුට පහසුවෙන් භාවිත කළ හැකිය.
මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජෛව වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඇන්ජලෝ කරුණාරත්න සහ මෙකාට්‍රොනික්ස් සම්බන්ධීකාරක සහ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංජිත් අමරසිංහ යන මහත්වරුන්ගේ මගපෙන්වීම යටතේ අවසන් වසර සිසුන් වන විදුෂාන් දිසානායක, එම්.ජී. කසුන් දේවින්ද සහ ජී.පී. මදුෂාන් ඇහැලගස්තැන්න යන සිසුහු මෙය නිපද වූහ.
ලෝකයේ දැනට අස්ථි සංකූලතා හඳුනා ගැනීමට විවිධ පරීක්ෂණ භාවිත කෙරේ. ඩෙක්සා ස්කෑන්, අල්ට්රා සවුන්ඩ් ස්කෑන් සහ රසායනික පර්යේෂණ ක්‍රමවේද භාවිත කෙරේ. රසායනික පරීක්ෂණ හැරුණු විට දැනට භාවිතයේ පවතින සියලුම පරීක්ෂණ මගින් අස්ථි පද්ධතියේ ද්වීමාන රූපයක පවතින අස්ථි ප්‍රමාණය යන මිනුම සැලකිල්ලට ගනිමින් පරීක්ෂණ වාර්තා ලබාදෙයි.
ලෝකයේ පවතින පරීක්ෂණ ක්‍රම ඉතා මිල අධික බැවින් සාමාන්‍ය ජනතාව වයස 35ක් ඉක්මවූ පසුව එම පරීක්ෂණ සඳහා යොමුවීමට මැලිවේ. එම හේතුකාරණා සැලකිල්ලට ගෙන පර්යේෂණ කණ්ඩායම ඉතා අඩු මිලකට අස්ථි රෝග හඳුනාගත හැකි පරීක්ෂණ උපකරණයක් නිපද වීය.
යම් පුද්ගලයෙකු බිම වැටී අස්ථියක් බිඳුණු පසුව සිදුකරන පරීක්ෂණවලින් අනතුරුව ඔහුට ඔස්ටියෝපොරෝසිස් ඇති බව හඳුනා ගැනීම සිදුකෙරේ. මිනිස් ශරීරයේ ඇති අස්ථී, සෛල ලෙස අලුතින් තැන්පත් වේ. දිරාගිය සෛල කොටස් ලෙස ඉවත් කිරීමද රසායනික ප්‍රතික්‍රියා ලෙස සිදුකෙරේ. මිනිසාගේ අස්ථිවල පවතින විවිධ විෂමතා අස්ථි රෝග ඇතිවීමට හේතු වේ. වයස්ගත වීම හෝ වෙනයම් හේතුකාරණා නිසා සෛල තැන්පත් වීමේ ශීඝ්‍රතාවට වඩා අස්ථි දිරායාමේ ශීඝ්‍රතාව වැඩිවුවහොත් ශරීරයේ පවතින අස්ථි සෛල ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවීම සිදුවේ. එය ඔස්ටියෝපොරෝසිස් ලෙස හැඳින්වේ.
පර්යේෂණ කණ්ඩායම විසින් නිපද වූ උපකරණයෙන් නියත ශක්තියක් සූචිය මතට යෙදෙන අතර, එය මිනිස් අස්ථියක් තුළට කිඳා බසී. එම මිණිතයෙන් අස්ථියේ ගුණාත්මකභාවය පිළිබඳ දත්ත ලබාගැනීම සිදුකෙරේ. එදිනෙදා ක්රියකාරකම්වලදී අස්ථි පද්ධතියේ ඉතා කුඩා අස්ථි බිඳීම් සිදුවේ. ඒවා මයික්‍රෝ මීටර 500 තරම් අස්ථි බිඳීම් ඇතිවේ. සාමාන්‍යයෙන් සතියක පමණ කුඩා කාල පරාසයකදී ස්වාභාවිකව යථා තත්ත්වයට පත්වේ. මෙම උපකරණය මගින් මයික්‍රෝ මීටර 300ක් තරම් ඉතා කුඩා අස්ථි බිඳීම් පවා හඳුනා ගැනීමේ හැකියාව තිබේ.
ඔස්ටියෝපොරෝසිස් අස්ථි සාම්පල 25ට අධික සංඛ්‍යාවක පරීක්ෂණ දත්ත ප්‍රස්ථාරගත කර තිබේ. තවද ඔස්ටියෝපොරෝස්සි රෝගියෙකු වයස්ගත වීමත් සමග රෝගී තත්ත්වය හේතුවෙන් අස්ථි පද්ධතිය තවදුරටත් දුර්වල වීම සිදුවේ. මෙම උපකරණ සතුව විවිධ වයස් කාණ්ඩවලට අයත් දත්ත පවතින අතර, වයසත් සමඟ අස්ථි පද්ධතිය දුර්වල වීමද උපකරණයෙන් පැහැදිලිව හඳුනාගත හැකිවීම විශේෂත්වයකි.
මෙම උපකරණය සතු ඉලෙක්ට්‍රික් මෝටරය මගින් සූචිය අස්ථියට ඉතා සුළු ස්පර්ශයක් සිදු කිරීමට සැලසේ. එමගින් අනවශ්‍ය ලෙස අස්ථියට කිඳාබැසීම වැළකෙයි. මෙහි ඇති සංවේදක හරහා සූචිය කිඳා බසින ගැඹුරටට සමානුපාතිකව සංවේදනය කර විශේෂ පාලකයකට ලබාදීම සිදුකෙරේ. මෙහි ඇති විශේෂත්වය නම් සූචිය අස්ථියට ස්පර්ශ වී කිඳා බැස තත්ත්පර කිහිපයකින් ප්‍රස්ථාරගත ප්‍රතිපල වෛද්‍යවරයාට ලබාගත හැකිය.
මෙහිදී අපගෙන් රුධිරය ලබාගන්නා විට ඇතිවන ආකාරයේ ඉතා කුඩා වේදනාවක් ගෙන දෙන අතර වෛද්‍යවරයාට පහසු වන පරිදි නිරෝගී පුද්ගලයෙකුගේ දත්තද ඇතුළත් කළ මෘදුකාංගයක්ද මෙයට අඩංගුවේ.
ගයාන් සූරියආරච්චි