අගමැති ධුරයේ කටයුතු නිසියාකාරව ඉටුනොකිරීමට එරෙහිව ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් එයට සහාය දැක්වීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ කියයි. එසේ වුවත් එම විශ්වාසභංගය බලපොරයක වුවමනාව වෙනුවෙන් ගෙන එන්නේ නම් එහි තිබෙන දේශපාලන වුවමනාවන් පිළිබඳව සලකා බලමින් කටයුතු කරන බවත් පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“අග්රාමාත්යවරයාට එරෙහි වංචා - දූෂණ සම්බන්ධයෙන්, හොරු ආරක්ෂා කිරීමට එරෙහිව චෝදනා එල්ල කරමින් ඔහු අගමැතිධුරයේ කටයුතු නිසියාකාරව ඉටු නොකිරීමට එරෙහිව, විශ්වාසභංග යෝජනාවක් ගෙන එනවා නම් ජනතා විමුක්ති පෙරමුණ එයට සහාය දීමට සූදානම්.
අගමැති රනිල් වික්රමසිංහට එරෙහිව ගෙන එන විශ්වාසභංගය යම්කිසි බල පොරයක වුවමනාව වෙනුවෙන් එසේත් නැතිනම් දේශපාලන ගේමක් වෙනුවෙන් ගෙන එනවා නම්, විශ්වාසභංගය ගෙන එන මොහොතේ එහි තිබෙන දේශපාලන වුවමනාවන් පිළිබඳව සලකා බලා කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
කෙසේ වෙතත් රනිල් වික්රමසිංහගේ අගමැති ධුරය ආරක්ෂා කිරීමවත් එය පවත්වාගෙන යාමවත් කිසිසේත්ම ජනතා විමුක්ති පෙරමුණට අදාළ කාරණයක් නොවෙයි.
අග්රාමාත්යවරයා ලෙස මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ හවුල්කාරයෙක් බවට පත්වී සිටීම, මහබැංකු අධිපතිවරයා පත්කිරීමට ප්රයත්න දැරීම, ඒ වගේම මහබැංකු වංචා ආරක්ෂා කිරීමට උත්සාහ කිරීම, ඒ වගේම රාජපක්ෂ පවුලේ වංචා-දූෂණ ආරක්ෂා කිරීමට ප්රයත්න දැරීම, සිරිලිය ගිණුමේ වංචා වෙනුවෙන් ශිරන්ති රාජපක්ෂ එෆ්.සී.අයි.ඞී.යට ගෙනයාමට ඉඩ නොදීම, ඇතැම් අයගේ පාස්පෝට් ප්රශ්නවලදී නීතිපති දෙපාර්තමේන්තුවට කතාකොට ඇතැම් අයට ඇප ලබාදෙන ලෙස ඉල්ලීම වැනි වංචනික කටයුතුවලට ආරක්ෂාව ලබාදීම ආදී කරුණු සහිතව විශ්වාසභංගය ගෙන එනවා නම් එයට සහාය ලබාදීමට අපි සූදානම්.” යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.