Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා
2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා
(UPDATE) තමා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාරගත්තේ නැවත ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමේ බලාපොරොත්තුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. එසේ තිබියදී තමාට පහර දෙන්නේ කුමන හේතුවක් මත දැයි සිතාගත නොහැකි බවද ශ්‍රීලංකා නිදහස් පක්ෂ 65 සම්මේලනයට මේතරම් ජනතාවක් සහභාගී වේවි යැයි තමාද නොසිතූ බවද ජනාධිපතිවරයා පැවසීය . කුරුණෑගල පැවැත්වෙන එම උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මේබව කීය. මේතරම් සෙනඟ එයි කියලා මමත් හිතුවේ නැහැ. ක්‍රිඩාංගනයේ ඉන්න ජනතාවට වඩා වැඩි සෙනඟත් එලියෙ ඉන්වා කියලා වාර්තාවෙනවා. මේ ජවය බලය කාගේද. ඒ අපේ පක්ෂයේ බලයයි. මෙයට අභියෝග කරන්න කිසිදු දේශපාලන බලවේගයකට නොහැකියි.
ඇයි සමහර අය කියනවා බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ඇතිවිත් ශ්‍රීලංනිප හැදුවා කියලා. මම ඒකට එකඟ වෙන්නේ නැහැ. සිංහල මහ සභාවේ කොටසක් අරගෙන ඇවිත් . අර්බුද කොතෙක් ආවත් පිටකොන්දක් ඇති දේශපාලන නායකයෙක් විදිහට කටයුතු කළා. බණ්ඩාරණායක මහත්තයා කියන්නේ අඩුම කාලයක් රට පාලනය කළ රාජ්‍ය නායකයා.
ශ්රීලනිපය සමාජ ප්‍රජාත්‍රන්තවාදය මුල්කරගත් දේශපාලන පක්ෂයක්. ඒනිසා පක්ෂය ශක්තිමත් කිරීමට අවශ්‍යයි. අදට ගැලපෙන වෙනස්කම් කළ යුතුයි.
මම පක්ෂය භාරගත්තේ මට කරපු ආරාධනය සමඟයි. පොදු අපේක්ෂකයා විදිහට මම අත්සන් කළෙත් පක්ෂයේ ලේකම්වරයා විදිහටයි. ජනාධිපතිවරයා විදිහට මම පක්ෂයේ සභාපතීත්වය භාරගත්තේ නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හැදිමටයි.
අද අපි සියලු පක්ෂ එකතු වෙලා ආණ්ඩු කරනවා. විවේචන තියෙනවා. බෑන්කී මූන් මහත්තයා මීට කලින් ආවේ 2009 යුද්දෙ ඉවරඋන ගමන්. ඇවිත් ගියාට පස්සේ මොකද වුණේ කියලා දන්නවා.
අපි රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් යුද්ධය කරපු රණවිරුවන් වෙනුවෙන් පෙනීසිටිය යුතුයි. රටේ ජනතාවට භියක් සැකක් නැතිව සතුටින් සිටිය හැකි රටක් හැදීමට අවශ්‍ය උනා. ජනාධිපතිරණයකට යන්න එපා කියලා මම මහින්ද රාජපක්ෂ මහතාට ලියුමක් ලිව්වා. පක්ෂය පරාජය කරන්න අවශ්‍යනම් ආණ්ඩුව පරාජය කරන්න අවශ්‍යනම් මම එහෙම ලියයිද? අපිට දිනනන් බැහැ කියලා හැමෝම කිව්වා. නමුත් ඇහුවෙ නැහැ. එහෙමනම් ඒ පරාජය ජයග්‍රහණයක් කරගෙන ශ්‍රීලංනිප ලේකම්වරයාගේ අතට ගත්තු එක වැරදිද කියලා මම අහනවා
ශ්‍රීලංකා නිදහස් පක්ෂය නව ජවයකින් නව සැලැස්මකින් පෙරට යා යුතු වෙනවා. අනාගතයේ ශ්‍රීලංනිප ආණ්ඩුවක් පිහිටුවීමේ පළමු වෙඩිමුරට තමයි අපි අද තියන්නේ කියලා මම නායකයින්ට කියන්න කැමති
පළාත් පාලන මැතිවරණය අපි තරග කරනවා. ඒ අත ලකුණින්. ඒසඳහා හැමෝටම අපිත් එක්ක එකතුවෙන්න කියලා මම කියනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉදගන්න අවසර ඉල්ලපු කණ්ඩායමට මම කියනවා වෙනම පක්ෂ හදන්නේ නැතිව ශ්‍රීලංනිප ආණ්ඩුවක් හදන්න එකතුවෙන්න කියලා. අපි පැරදුවෙකේ මේසැරේ විතරද.
පක්ෂ නායකයෙක් කළ යුතු දේ පිළිබඳව නොකළ යුතු දේ පිළිබඳවත් අපි අවබෝධයෙන් සිටියයුතුයි. පරාජයට හේතුවෙන දේ නොකළ යුතුයි. ජයග්‍රහණයට හේතුවනදේ කළ යුතුයුතුයි.
මේරටේ සමහරු මට ප්‍රසිද්ධියේ ගහනවා අප්රසිද්ධියේ ගහනවා. විවෘත්තව ගහනවා හැංගිලා ගහනවා. මම අහනවා ඇයි මට ගහන්නේ. මම දුප්පතුන්ගෙන් ආපු නායකයෙක් නිසාද?
ධර්මපාල තුමා එදා කිව්වේ සිංහලයෙනි නැගිටවු කියලා. අද මේරටේ ජනාධිපති විදිහට රටේ ජනතාවගේ ප්‍රධාන සේවකයා විදිහට මම කියන්නේ ලාංකිකයනි නැගිටවු කියලා. කිසිදු විදේශීය තර්ජනයක් අපිට නැහැ. එහෙම ආවොත් මම ඔලුව පාත් කරන්නෙත් නැහැ. රටේ සියලු දෙනා එකතු වෙන්න ඔන . මේ ප්‍රශ්නෙන් අපි මිදෙන්න ඔන. මේවා එක පක්ෂයකට භාාර දෙන්න බැහැ. අපි සියලු දෙනාටම වගකීම් ඉටුකළ යුතුයි. අපේකම් සමග රට ගොඩනගන්න මට කාලය අවශ්‍යයි කියලා බැන් කී මූන් මහතාට මම කිව්වා. ඔහු හිනාවෙලා කිව්වා ඔබේ රට ඔබ ගොඩනගන්න කියලා. මේරට ගොඩනගන්න සියලු දෙනාම එකතුවෙන්න කියා මම ආරාධනා කරනවා
සම්පූර්ණ කතාව මෙසේය.
" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සර උළෙල අද. අද දවස පිළිබඳව මම හිතනවා මේ රටේ කිසියම් කෙනෙක් බලාපොරොත්තු නොවූ ආකාරයට ඇත්තම කියනවානම් මමත් හිතුවේ නෑ මේ තරම් අති විශාල ජනකායක් ඇතුගල්පුරයට පැමිණෙයි කියලා. මේ ක්‍රීඩාංගණයේ සිටින ජනතාවටත් වැඩි ජනතාවක් ඇතුළට එන්න බැරිව කුරුණෑගල නගරයේ සිටින බව පොලීසිය කියනවා. මේ ශක්තිය කාගෙද? මේ බලය කාගෙද? මේ ජවය කාගෙද? මේ ශක්තිය බලය, ජවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. මෙයට අභියෝග කරන්නට මේ රටේ කිසිදු දේශපාලන බලවේගයකට හෝ ප්‍රතිවාදී බලවේගයකට නොහැකියි. ශ්‍රීලනිපයට කීර්තිමත් ඉතිහාසයක් තිබෙනවා. ඒ කීර්තිමත් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ කතාවක් තිබෙනවා. එහි රසමුසු තැන් මෙන්ම සැලකිය යුතු තැන් මෙන්ම දුක් මුසු තැන් මෙන්ම අභියෝගාත්මක කතා රාශියක් තිබෙනවා. එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා ඇයි මේ පක්ෂය හැදුවේ. එතුමා එජාපෙ ඉඳලා කඩාගෙන ඇවිත් මේක හදලා කියලා සමහරු කියනවා. මම එතරම් ඒකට එකඟ වෙන්නේ නෑ. සිංහල මහා සභාවේ තිබුණු කොටසක් අරගෙන එදා ඒ යුගයට අවශ්‍ය සටන් පාඨ අතට ගත් පිරිසක් හිටියා මේ රටේ. ඒ කවුද ? බ්‍රිතාන්‍ය පාලනයට යටත් වෙලා හිටපු අපි. 1505 ඉඳලා 1948 වෙනකන් විදේශ පාලනයට යටත් වෙලා හිටපු අපි. නිදහසින් පසු මේ රටේ ජනතාව අදහස් කළා රටේ ස්වාධීනත්වය, අපේම රටක්, අපේ සංස්කෘතියක්, අපේ ශිෂ්ටාචාරය ගොඩනැගුණු ආණ්ඩුවක රටක අපේක්ෂාව. නිදහස් අරගල ජය ගත්තේ ඒ යුගෙයේ හිටි සිංහල, දමිළ, මුස්ලිම් සියලු නායකයෝ කියන එක අමතක කරන්න එපා.
1951 සැප්තැම්බර් 2 වැනිදා ශ්රීලනිපය බිහි කරන විට බණ්ඩාරනායක මැතිතුමා එදා මැතිවරණ නීති අනුව පක්ෂයට ප්‍රධාන ලේකම්වරයකුගේ අවශ්‍යතාවය තිබුණේ නෑ. සම ලේකම්වරු පස් දෙනෙක් පත් කළා. ශ්‍රීලනිපයට ආණ්ඩුවක් හදන්න ඒ යුගය තුළ ගොඩනැගුණු සංසිද්ධි ගණනාවක් තිබුණා. ගමේ පන්සලේ හාමුදුරුවෝ කුඹුරේ ගොවි මහතා, ෆැක්ටරියේ කම්කරුවා, ගමේ වෙද මහතා, ගමේ ඉස්කෝලේ මහතා අපේම කියන ලේඛකයින් උගතුන් බුද්ධිමතුන් සියල්ල සමග දේශපාලන බලවේගයකට වැඩිය බණ්ඩාරනායක මහතා ආණ්ඩුවක් හදන්න එක් වුණේ සංස්කෘතික බලවේගයි. පළවැනි මැතිවරණයේ ආසන 9යි. 56 ආණ්ඩුවක් හැදුවා මහජන එක්සත් පෙරමුණ සමග. ලංකාවේ දේශපාලන නායකයෙක් පක්ෂයක් හදලා අඩුම කාලයකින් ආණ්ඩුවක් හැදුවේ එදා. ඒකට අපේ ආණ්ඩුව කිව්වා. මැති ඇමැතිවරු ඉඳගන්න පුටු අතගාලා මේ අපේ මන්ත්‍රීවරු කිව්වා. ශ්රීලනිපය ස්වදේශිකත්වය මුල්කරගත්ත, අපේ සංස්කෘතිය ශ්‍රීලාංකිකත්වය මුල් කරගත්ත අපේම අපේ දේශපාලන පක්ෂයක්. ඒ 56 ආණ්ඩුව රටට අවශ්‍ය වෙනස්කම් රාශියක් කළා. මේ රටේ බලයට පත්වූ නායකයින්ගෙන් මම කියනවා බණ්ඩාරනායක මහතා තරම් බලයේ සිටි කාලයේ මානසික පීඩනයට පත්වූ කෙනෙක් නෑ. ඒ අර්බුද කොතෙක් ආවත් පිටකොන්දක් ඇති දේශප්‍රේමී නායකයෙක් විදියට ජාතික ජාත්‍යන්තර ප්‍රශ්නවලට මුහුණදීලා රටට අවශ්‍ය දේ ඉටු කළා. මේ රටේ දේශපාලන නායකයො ඉන්නවා දීර්ඝ කාලයක් බලයේ සිටි. බණ්ඩාරනායක මහතා හිටියේ අවුරුදු තුනයි. නමුත් ගමේ හැමදෙනාගේම හදවතේ අදත් ශ්රීලනිපය නලියන්නේ හඬ නගන්නේ එතුමා කළ වෙනස්කම නිසා. මේ පක්ෂය පවිත්‍ර නිර්මල රට කරවිය යුතු පක්ෂයක්. ඒ නිසා තමයි මේ රටේ නිදහසින් පසු වැඩිම කාලයක් රාජ්‍ය පාලනයේ යෙදී සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයයි. සමාජ ප්රජාතන්ත්රවාදය කියන්නේ කුමක්ද විශේෂයෙන්ම පොදු ජනතා සුබ සාධනය. පොදු ජන මෙහෙවර පුංචි මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීම. නිදහස තහවුරු කිරීම. සැබෑ ලෙස පුංචි මිනිසාගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් ආර්ථික වෙනස්කම් වෙනුවෙන් පෙනී සිටීම. මේ පක්ෂය අපි ශක්තිමත් කිරීම අදට ගැලපෙන ආකාරයට සකස් කිරීම අවශ්‍යයි. සිරිමාවෝ මැතිනිය පක්ෂයට නායකත්වය දීලා ඒ යුගයේ අවශ්‍ය වෙනස්කම් කළා. පක්ෂයේ පළමු නායකයා අමු අමුවේ වෙඩි තියලා මරලා දැම්මා. දෙවැනි නායිකාව ප්‍රජා අයිතිය අහෝසි කරලා දේශපාලනයෙන් අයින් කරන්න උත්සාහ කළා. තුන්වැනි නායිකාව යුද්ධයේ ගොදුරක් වෙලා ආබාධිත වුණා. මහින්ද රාජපක්ෂ පක්ෂයේ ඊළඟ නායකයා යුද ජයග්‍රහණය කළා. පක්ෂය ඊට පස්සේ මට බාරගන්න කිව්වා. මම ආණ්ඩුවෙන් එළියට ගිහින් පොදු අපේක්ෂකයා ලෙස එදා අත්සන් කළෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලෙසයි. මාත් එක්ක ගිවිසුමක් අත්සන් කළේ නෑ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් විය යුතුයි කියලා. ඒ ගැන කිසිදු බාධාවක් ඇතිවුණේ නෑ. 2015 ජනවාරි 8 වැනිදා මැතිවරණයෙන් දිනලා 9 වැනිදා දිවුරුම් දීලා දවස් තුනකට පස්සේ පක්ෂයේ සභාපතිකම භාරගන්න කියලා මට ආරාධනය කළාම මම පුදුම වුණා. නමුත් මහත් අභිමානයෙන් සතුටින් මම සභාපතිකම භාරගත්තේ නැවත මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න.අපි පොදුවේ රටට දුන්නා පොදු ප්‍රකාශයක්. රට බරපතළ ප්‍රශ්න රාශියකට මුහුණදී තිබුණා. ඒ මැතිවරණ ප්රකාශනයට තමයි මට ජයග්‍රහණය ලැබුණේ. ගිය අගෝස්තු මැතිවරණයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකකටවත් ආණ්ඩුවක් හැදීමේ අයිතිය දුන්නේ නෑ. ඒ අනුව මැතිවරණ ප්රකාශනයේ තිබුණත් නැතත් රටේ ආණ්ඩුවක් තිබිය යුතුයි. ජනතාවට මා වගකිව යුතුයි. අද අපි ආණ්ඩු කරනවා විවේචන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මේ සතියේ එන්න කලින් ආවේ 2009. අපි නිසා ලෝකය බෙදුණා . අපි නිසා එජා සංවිධානය දෙකට බෙදුණා. එජා සංවිධානය හා මානව හිමිකම් කොමිසන් සභාවේ පවත්වපු ඡන්ද ගණනාවකින් අපි පරාජයට පත්වුණා. ඒ එක්කම ජාත්‍යන්තරයෙන් අපිට යෝජනා චෝදනා මාලාවක් ආවා. අපි රටක් රාජ්‍යයක් විදියට පෙනී සිටිය යුතු වෙනවා. එය රට වෙනුවෙන් හා රටේ ජනතාව වෙනුවෙන් මෙන්ම මේ රටේ යුද්ධය කළ යුද නාවික, ගුවන්, ත්‍රිවිද හමුදාවේ පොලීසියේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිය යුතු වුණා. එහෙත් ගිය ජනාධිපතිවරණ ප්‍රතිඵල සමග ඒ එන යෝජනා රටට අවශ්‍ය නිදහස මානව අයිතිවාසිකම් රටේ ජනතාවට බියක් සැකක් නැතිව සතුටින් ඉන්න පුළුවන් රටක් හදන්න වුවමනා වුණා. 30, 40, 50, 60 දශකවල සිට කෑගහපු වරින් වර නැගුණු කලකෝලාහල අරගල බවට පත්වුණා. සිංහල දමිළ යුද්ධයකට මුහුණ දුන්නා.
මේ ප්‍රශ්නවලින් රට බේරාගැනීම අවශ්‍ය වුණා. 2014 ජනාධිපතිවරණයක් හරහා සූදානම් වන විට මා මහින්ද රාජපක්ෂ මහතාට මගේ අතින් හදලා ලියලා දුන්නා ආණ්ඩුව වෙනස්වෙන මැතිවරණයකට යන්න එපා. මට ඒ ආණ්ඩුව පරාජය කරන්න අවශ්‍ය ඒ ලියුමක් ලිවිය යුතුද කියා මට සිතුණා. මහින්ද රාජපක්ෂ මහතාට ඒ ලිපිය මම ලියලා පක්ෂයේ ප්‍රධානීන්ට දුන්නා. අපේ හඬ ඇහුවේ නෑ. මැතිවරණයකට ගියා. එහෙමනම් ඒ පවත්වපු මැතිවරණයේ ජයග්‍රහණය ශ්‍රීලනිප ලේකම්වරයා අතට ගත්ත එක වැරදිද කියලා මම අහනවා. මේ රටේ ආණ්ඩු වෙනස් වුණාම ඇතිවන පශ්චාත් මැතිවරණ තත්ත්වයන් ඔබ දන්නවා. ලෝකයේ දියුණු රටවල්වල ඒ දේශපාලන සංස්කෘතියේ වැදගත් කොටස් අපි ගත යුතුයි. ස්වදේශීකත්වය පදනම් කරගෙන ඒ සියල්ල එක්ක අපේ මූලික ප්‍රතිපත්ති දර්ශනය අබ පියල්ලකින්වත් නොවෙනස් විය යුතුයි. විශේෂයෙන්ම වෙළඳපොළ තරගකාරීත්වය තුළ විසිවෙන්නේ පුංචි මිනිසා දුප්පත් මිනිසා කියන එක අමතක කරන්න බෑ. වැඩපොළේ කම්කරුවා කුඹුරේ ගොවියා පීඩිතයා දුප්පතා ඒ සියල්ලන් වෙනුවෙන් පෙනී සිටිය යුතු දේශපාලන බලවේගයක් තිබිය යුතුයි. මානව අයිතිවාසිකම් මූලික අයිතින් තිබිය යුත්තේ ධනපති පංතියට විතරක් නෙමෙයි දුගී දුප්පත් සියලු දෙනාට එක හා සමාන අයිතියක් තිබිය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ජවයකින් නව වැඩපිළිවෙළකින් අලුත් ගමනක අවශ්‍යතාවය ඇතිවෙලා තිබෙනවා. මේ පැමිණි අති විශාල මහ ජන ගංඟාවට පක්ෂයේ සියලු නායකයින්ට අනාගතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් වෙනුවෙන් පළවැනි වෙඩි මුරය තමයි අද තිබ්බේ කියන එක මා කියනවා. ලබන අවුරුද්දේ මුල් මාසේ පළාත් පාලන මැතිවරණය එනවා. දිවයිනේ සියලු පළාත් පාලන දිස්ත්‍රික්කවලට අත ලකුණින් අපි තරග කරනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න එකතු වෙන ඒ සියල්ලට ආරාධනය කරනවා ඒ මැතිවරණය ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොඩිය යට එකතු වෙන්න කියලා. ශ්‍රීලනිපයෙන් පාර්ලිමේන්තු ගිහින් විරුද්ධ පක්ෂයේ ඉන්න ඕන කියපු අයට මම කියනවා අනාගතයේ ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න පක්ෂය එක්ක එකතු වෙන්න කියලා. මේ පක්ෂය නියෝජනය කරන්නේ පොඩි මිනිස්සු කියන එක අපි තේරුම් ගන්න ඕන. අපි කොච්චර පැරදිලා තියෙනවාද ගිය අවුරුද්දෙ විතරද ශ්රීලනිපය 60, 65, 77, 82, 89, 2001 පැරදුණා. ජයග්‍රහණ කථා කරනවා වගේම පරාජය වූ දේවලුත් කථා කළ යුතුයි. පක්ෂයක් කළ යුතු දේ පක්ෂ නායකයින් කළ යුතු දේ කුමක්දැයි තේරුම් ගැනීම අවශ්‍යයි වගේම පක්ෂයක් හා පක්ෂ නායකයින් නොකළ යුතු දේ කුමක්දැයි තේරුම් ගත යුතුයි. මේ රටේ දේශීය චින්තනය අපේකම දේශියත්වය මේ සියල්ල වෙනුවෙන් පෙනී සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. සමහර අය මට එළිපිට ගහනවා. සමහරු රහසේ ගහනවා. සමහරු විවෘතව ගහනවා. සහමහරු අභ්‍යන්තරව විවෘත නොවන විදියට ගහනවා. මම ඒ හැමොගෙන්ම අහනවා මම පුංචි මිනිහෙක් හින්දාද? මම තමයි මේ රටේ පැලපතින් ආපු කුඹුරෙන් ආපු ගොයම් කොළයෙන් ආපු ජනපතිවරයා. මම ධනපතිපන්තියේ නොවන නිසාද මට ගහන්නේ මගේ තාත්තා ගොවියෙක් නිසාද මට ගහන්නේ මගේ තාත්තගේ අක්කර පහින් යැපිලා සියලු වගකීම් එක්ක ඉදිරියට ආපු පුංචි මිනිහෙක් හින්දද කියලා මම අහනවා. බණ්ඩාරනායක මහතා එදා කිව්වේ ඉහළ පන්තිය බිඳ හෙළා යන්න කියලා. ඒ 56 සමාජ වෙනස්කමත් එක්ක විශ්ව විද්‍යාලයට ගිහින් සිංහලෙන් උපාධිය ලියන්න ඉඩ දුන්නේ බණ්ඩාරනායක මහතා. එතුමාට අනෙක් ජාතින් ගැන අවබෝධයක් තිබුණා. චෙල්වනායගම් ගිවිසුම අත්සන් කරන්න දුන්නේ නෑ. ඉන්දීය හමුදාව ආවා. පළාත් සභා ආවා. මුලින් කළ යුතු දේ අපි මුලින් කළා නම් ඒ මහා ඛේදවාචකයන්ට මුහුණ දෙන්න වෙන්නෑ. අද අපි කරන්න හදන සංහිඳියාවට සමහරු උසුළු විසිළු කරනවා. ජාත්‍යන්තර බලවේගවලට යටකරන සංහිඳියාව කියනවා. එදත් එහෙමයි සෙවල බණ්ඩා රට කඩන්න හදනවා කිව්වා. ධර්මපාලතුමා එද කිව්වේ සිංහලයින් නැගිටිව් කියලා. මම අද ජනපති ලෙස මේ රටේ ජනතාවගේ සේවකයා හැටියට ලාංකිකයනි නැගිටිව් කියලා කියනවා. සමහරු කියන විදියට මේ රට කිසිදු විදේශීය අතපෙවීමකට ඉඩ දෙන්නේ නෑ. ඒ තර්ජන නෑ එහෙම ආවොත් මම ඔළුව පාත් කරන්නේ නෑ.
අපට අවශ්‍ය රටක් සමගි ජනතාවක් සිංහල දමිල මුස්ලිම් ජනතාව අත්වැල් බැඳගත් සමාජයක්. හැමකෙනකුම සතුටින් ජීවත්වන සමාජයක්. ඒ නිසා මේ සංවත්සර උළෙලේදී පක්ෂයේ අවුරුදු 65ක ගමන්මග අභියෝගාත්මකයි. එය විශිෂ්ටයි, ශ්‍රේෂ්ඨයි. කටුකයි. වැටෙනවා වැටි වැටී නැගිටිනවා. කොතෙක් වැටුණත් නැගිට නැගිට ඉස්සරහට යන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒ නිසා මේ රට ජනතාව සියල්ල එක්ක අපි සියලු දෙනාගේ සහයෝගය අරගෙන කෝටි 9 ලක්ෂයක ණය බරින් මිදෙන්න අපි එකතු වෙන්න ඕන. මේක අත්හරින්නද කියන්නේ. එක පංතියකට ජාතියකට බාර දීලා බෑ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා ඇවිත් තිබෙන යෝජනා ඒ බරපතල තත්ත්වය ඉතාම සරල වුවත් එය ජයග්‍රහණය කරන්න සියලු දෙනා එකාවන්ව එක්විය යුතුයි. මේ රට ගොඩගන්න ජනතාවට සුඛිත මුදිත අනාගතයක් හදන්න අද ඔබට මට මෙන්ම හෙට බිහිවන දරුවන්ට සුන්දර රටක් හදන්න සියලු ජනයා සමග අපි එකතුවී සංහිඳියාවෙන් අපි ඉදිරියට යන්න ඕනේ. අදට අවශ්‍ය දේ අද කළ යුතුයි. රෝගියකුට අවශ්‍ය බෙහෙත් අද දිය යුතුයි. මේ රටට තිබුණු පළවැනි ප්රශ්නය ජාත්‍යන්තරයේ දෝෂාරොපණ අවලාද ඒ සියල්ලෙන් මේ රට නිදහස් කරගෙන හමාරයි. එජා මහ ලේකම් සමග මම කළ සාකච්ඡාවෙදි කිව්වේ හදිසි වෙන්නේ නැතුව මට මේ කාර්ය කරන්න දෙන්න කියලා. මට ඒ සඳහා කාලය අවශ්‍යයි. මගේ රට මගේ ජනතාව මගේ මාතෘ භූමිය ස්වාධිනත්වය ස්වදේශිකත්වය රැකගෙන අපේ උරුමය රැකගෙන මේ රට ගොඩනගන්න මට කාලය දෙන්න කිව්වා. එතුමා සිනාමුසු මුහුණින් කිව්වා ඔබ කරගෙන යන්න කියලා. ඒ සියල්ල තේරුම් අරගෙන අපට තිබෙන අභියෝග තේරුම් අරගෙන රටේ ජනතාව රට වෙනුවෙන් වගකීම ඉටුකර ශ්රීලනිපයවෙනුවෙන් පක්ෂය පිරිසිදු පොදු ජනතාවගේ මහපොළවේ අඩිය ගහලා යන මිනිසුන්ගේ එකක් කරමු. මේ පක්ෂය නිදහස ප්රජාතන්ත්රවාදය පොඩි මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් බවට පත් කරමු." යැයි ඒ මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd