තමා බලපෑම්වලට යටත්වී සමාව ඉල්ලන, වඳින චරිතයක් නොවන බවත් කෙදිනකවත් දේශපාලඥයිනට වදින චරිතයක් නොවන බවත් අමාත්‍ය සරත් ෆොන්සේක මහතා පවසයි.
ඊයේ (11 දා) රාත්‍රී පොලොන්නරුව දියබෙදුම ඉහකුලු වැව ප්‍රදේශයේදී ඔහු මේ බව පැවැසීය.
“මට නීතිය හා සාමය අමාත්‍යාංශය මට ලැබිය යුතුයි කියලා රටේ මතයක් තිබුණා. මට ඒක අහිමි කළා. එතකොට මම යම්කිසි දේශපාලන මත ඒ පසුබිම මත ප්‍රකාශ කළා.
මැයි දිනයේදීත් ඒ වගේ මතයක් ප්‍රකාශ කළා. අපේ නායකයා ඉදිරිපත් වූණානම් දිනන්න තිබුණා. අපිට ලක්ෂ 4ක ඡන්ද තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ නායකයා දිනුවනම් එක්සත් ජාතික පාක්ෂිකයන්ට මීට වඩා හොඳ දෙයක් වෙන්න තිබුණා.
මම ඒ කියපු දේවල්වලින් ජනපතිතුමාගේ සිත රිදිලා තිබුණා. එතුමා අගමැතිතුමාට කියලා තිබුණා මගේ හිත ටික රිදිලා ඉන්නේ කියලා.අගමැතිතුමා යෝජනා කළා කැබිනට් මණ්ඩලයෙන් පස්සේ කතා කරමු කියලා.
මමයි අගමැතිතුමයි මලික් සමරවික්‍රම මහතායි ජනපපතිතුමයි පුද්ගලිකවම ජනපති ලේකම් කාර්යාලයේදී කාමරයක කතා කළා. විනාඩි හතරක පමණ කාලයක් කතා කළා.
ජනපතිතුමා කිව්වා අපි අතර ප්‍රශ්න තියෙන්න ඕන නෑනේ අපි හිතවත්ව හිටිය කට්ටියනේ ඒක නිසා ප්‍රශ්න තියෙනවානම් වේදිකාවලයි මාධ්‍යයටයි ප්‍රකාශ කරන්න ඕන නෑනේ කියලා. ඊට පස්සේ මමත් ජනපතිතුමාට කිව්වා සාමයෙන් වැඩ කරගෙන යන්න බලමු කියලා.
මම ඉස්කෝලේ යන කාලේ මගේ ගුරු දෙගුරුන්ට වැදලා තියෙනවා. මගේ දෙමාපියන්ට වැදලා තිබෙනවා,පුජ්‍ය පක්ෂයට වදිනවා ඊට හැර දේශපාලඥයින්ට වදින්නේ නෑ.
රාජපක්ෂලා ඉන්න කාලේ මට සමාව ගන්න කියන වචනේ බලෙන් දෙනන් හැදුවා. මම සමාවගත්තානම් හිරේ නොගිහින් එළියේ ඉන්න තිබුණා. මම බලපෑම්වලට යටත්වෙලා සමාව ඉල්ලන, වඳින චරිතයක් නෙමෙයි. මම සමාව ගන්න විදිහේ වැඩ කරන චරිතයක් නෙමෙයි.”