කන්තලේ සීනි සමාගමේ ආයෝජකයන්ගෙන් කප්පම් මුදල් ලබාගැනීමේදී අත්අඩංගුවට පත්වූ හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ආචාර්ය අයි.කේ. මහානාම මහතා තම පියාණන් වූ හිටපු ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු අමාත්‍යවරයාගේ පුත් නලීන් ගුණවර්ධන මහතා පවසයි.
අද (09දා) පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නලින් ගුණවර්ධන මහතා පැවසුවේ,තම පියා මරණ මංචකයේදී සීනි කර්මාන්ත ශාලාවේ ආයෝජකයන්ගෙන් මුදල් ඉල්ලන ලෙස අයි.කේ. මහානාම මහතා විසින් කර ඇති ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බවයි.
තම පියා වූ එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා අසනීපව සිටියදී එංගලන්තයේ වෙසෙන තම නැගණිය සමග නතරවී ප්‍රතිකාර ලබාගත් බවත්, එම කාලය තුළ තමන් තම පියා සමග සිටි බවත්, එක් අවස්ථාවක කළුතර බෝධියේ ඉඩම් ඔප්පුව ලබාදීම සඳහා ඊට තම පියාගෙන් අත්සන් ලබාගැනීමට මහානාම මහතා එංගලන්තයට පැමිණි බවද නලින් ගුණවර්ධන මහතා පැවසීය.
එම ගමනේදී පවා මහානාම මහතාගේ වැඩි අවධානයක් යොමුවූයේ ආයෝජකයෙකු සොයාගැනීම බවද, තම පියාගේ අත්සන් ලබාගැනීමට වඩා ඔහු ආයෝජකයෙකු සොයා ගැනීම සඳහා වෙහෙසුනු බවද ගුණවර්ධන මහතා මෙහිදී පවසා සිටියේය.
තම පියාගෙන් පසුව ජෝන් අමරතුංග අමාත්‍යවරයාගේ සමයේ මෙම යකඩ ටෙන්ඩරය නාවුක හමුදාවේ ඉහළ පුද්ගලයෙකුගේ බිරිඳකට මෙම ටෙන්ඩරය ලබාදීමට උත්සාහ කළ බවත්, පසුව ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාගේ සමයේ එම අවස්ථාව ඇහිරී ගිය බව පෙන්වා දුන් නලින් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ, තම පියා මියයන විට ඉඩම් රෙජිස්ටාර් කොමිසමේ පැරණි නිල නිවසක ජීවත්වූ බවය.
තම පියාගේ මරණයන් පසු අවසන් කටයුතුවලින් පවා මෙම මහානාම නැමති නිලධාරියා මුදල් ගසාකෑ බව කීම තමන්ට ලැජ්ජාවක් බවද නලින් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.