ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර හයක් විය යුතු බවට නීතිපති ජයන්ත ජයසූරිය මහතා ඉදිරිපත් කරන තර්කය පිළිගන්නවා නම් තමාට නැවත ඉදිරිපත් වීමට පුළුවන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
නීතිපතිවරයා ඉදිරිපත් කරන තර්කය පිළිබඳව අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වීම සිදුකර තිබේ.
"මට මේක ගැටලුවක් නැහැ කොයි මතයේ ගියත්. නීතිපතිවරයාගේ මතය අධිකරණය පිළිගත්තොත්, දෙවරකට වඩා ඉල්ලන නීතිය මට හා චන්ද්‍රිකාට බලපාන්නෙ අනාගතයට. ඉතිං නීතිපතිවරයාගේ තර්කය පිළිගත්තොත් මට තරග කරන්න පුළුවන්. මම යළිත් ඉදිරිපත් වෙනවද, නැද්ද කියන එක නොවෙයි ගැටලුව, මම කියන්නෙ මේ තර්කය පිළිගත්තොත් කියන එකයි.
මම හිතන්නෙ, ව්‍යවස්ථාවේ තියෙන විදියට අර්ථ කථනය කළොත් මෙය කල්දමන්න බැහැ. පාර්ලිමේන්තුව පත් කරගත්තෙ කවුද? ජනතාව. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් තමයි මේ ව්‍යවස්ථාව වෙනස් වුණේ. එතකොට ජනතාවගේ ඡන්දයෙන් තමයි, ජනතා පරමාධිපත්‍ය ඇති වුණේ. ඒ නිසා එම තර්කය බිඳ වැටෙනවා."