නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බවත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නම් එය වෙනස් කිරීම සුදුසු බවත් අද (04දා) මහනුවරදී රැස්වූ ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ඒකමතිකව තීරණය කර තිබේ.
එසේම නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට යෑම නැති ගැටලු මතු කරන්නක් බවටද උන්වහන්සේලා ඒකමතිකව තීරණය කර තිබේ.
අද පැවැති සාකච්ඡාව පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් අස්ගිරි අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නාහිමියෝ මේ බව මාධ්‍ය වෙත පැවසූහ.
එසේම ශ්‍රි ලංකාවේ සිංහල බෞද්ධයන් මුහුණපා ඇති ගැටලු මෙන්ම ආගමික ස්ථාන මෙන්ම පුරාවිද්‍යා ස්ථානවලට ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වයන් සඳහා විසඳුම් ලබාදීමට කමිටුවක් පත්කිරීමට රජයට යෝජනා කිරිමට මෙන්ම ඒ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංදේශයක් මගින් දැනුවත් කිරීමටත් මෙහිදී එකඟතාවකට පැමිණ තිබේ.
එසේම මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ගැටලුවට ඉක්මන් විසඳුමක් ලබාදීම, අතුරුදන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්රඥප්ති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම වැනි කාරණාද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.
මෙහිදී අදහස් දැක්වූ අනුනායක හිමියන් පැවසුවේ මෑත කාලයේදි මහා සංඝරත්නය එක් අවස්ථාවකට රැස්වූ විශේෂ අවස්ථාවක් ලෙස ඊයේ රැස්වීම හැඳින්විය හැකි බවයි. මෙම සාකච්ඡාව සඳහා අස්ගිරි මහා නාහිමියන්, අස්ගිරි හා මල්වතු අනුනායක හිමිවරුන්, අමරපුර මහා නිකායේ නාහිමියන්, රාමඤ්ඤ නිකායේ මහනායක හිමියන්, රෝහණ සංඝ සභාවේ නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය 75 නමක් පමණ එක්ව සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අස්ගිරි අනුනායක හිමියෝ
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම පිළිබඳව අපේ අවධානයට ලක්වුණා. නැති ගැටලු ඇති කරන කාරණයක්. අලුතෙන් ව්‍යවස්ථාවක් ඇතිකර ගැනිම කිසිසේත්ම සුදුසු නෑ. පවත්නා වස්ථාව ඒ අයුරින්ම පවත්වාගෙන යෑම උචිතයි. ඡන්ද ක්රමයේ දුර්වලතාවක් තිබෙන නිසා දේශපාලන ආගමික ක්ෂේත්රයේත් කතාබහට ලක්වෙලා තිබෙන නිසා ඡන්ද ක්‍රමය පමණක් සංශෝධන කිරීම සුදුසුයි.
ජාතික ආගමික වශයෙන් සිංහලයන්ට, බෞද්ධයන්ට යම්කිසි අසාධාරණයක් සිදුව ඇති බව පේනවා. ඒ වගේම ජාතික ආගමික වශයෙන් යම්යම් ගැටලුකාරී තත්ත්වයක් රටේ උද්ගතව ඇති නිසා ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක නිරත වුණා.
විවිධ ජාතික ආගමික වශයෙන් ගොනු වී තිබෙන මේ රටේ ක්‍රමවලට ගැටලුකාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ නිසා තීරණයකට එළඹුණා ජාතික වශයෙන්, ආගමික වශයෙන්, ආගමික ස්ථාන ඉදිකිරීම්, පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීම ඒවා සම්බන්ධව පවතින ගැටලු පිළිබඳ කිසියම් ආකාරයකින් සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරිමට රජයට යෝජනා කරනවා.
සයිටම් ගැටලුවට නිසි පිළිතුරක් ඉක්මනින් පියවරක් අරගෙන රෝගීන්ගේ අසරණභාවයට පිහිටක් වෙන්න රජය උත්සාහ කළ යුතුයි. භයානක පතනක් ජාත්‍යන්තර මට්ටමේ අවශ්‍යතාවක් නිසා අහිංසක සොල්දාදුවන් ඇතුළු යුදමය වාතාවරණය පැවැති කාලසිමාවේ යම් යම් ක්‍රියාමාර්ග සඳහා දඩුවම් කිරීමට අපට පිළිගත නොහැකි ආකාරයෙන් පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අදහස් කරන බව දැනගන්නට ලැබුණා. ඒ පනත නුසුදුසු බව යෝජනා කළා.
සිංහලයන්ට, බෞද්ධයන්ට ගැටලු ඇතිව තිබෙනවා ඒ සඳහා නිසි විසඳුම් සොයා ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ මස 06 දා සංදේශයක් බාරදීමට තීරණය කළා."