පසුගිය මහින්ද රාජපක්ෂ රජය මෙන්ම වත්මන් ආණ්ඩුවත් හම්බන්තොටට වැඩි වැඩියෙන් ආයෝජනය කරන බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මුතුරාජවෙල ප්‍රවර්ධන නගරයේ සංචාරයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
88/89 කාලයේ කොළඹට කිරි ගමට කැකිරි යනුවෙන් ප්‍රකාශයක් පැවැතියත් පසුගිය දස වසරක කාලය තුළ කොළඹට කැකිරිවත් ලැබී නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
“හම්බන්තොට ජනගහනය ලක්ෂ 6 යි. 2005-2014 කාලයේ හම්බන්තොටට සිදුකර ඇති ආයෝජනය රුපියල් බිලියන 900 යි. ඒ අනුව සෑම හම්බන්තොට වැසියෙකුටම රුපියල් ලක්ෂ 15 බැගින් මහින්ද රාජපක්ෂ මහතා ආයෝජනය කළත් රටේ අනිත් සෑම පුරවැසියෙකුටම සිදුකර ඇති ආයෝජනය රුපියල් 75,000ක ආයෝජනක් පමණයි. වර්තමාන අපේ රජයත් කරන්නේ හම්බන්තොටටමයි.” යැයි පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
මහාමර්ග, කෝච්චි පාරවල් නිසාම පමණක් ආර්ථිකයක් ඇති නොවේ. අද අපි ආයෝජනය සැලසුම් කළ යුත්තේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලටයි. ඉන් විශාල ආර්ථික පිම්මක් ළඟා කරගත හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අධිවේගී මාර්ග හදන්න වැය කරන ධනය වෙනුවට පොදු ප්‍රවාහනයට ආයෝජන සැලසුම් කළ යුතු බවත් පැවසූ රණවක මහතා, මධ්‍යම අධිවේගයේ කුරුණෑගල - ගලගෙදර අධිවේගී මාර්ග කොටස ගැනද අදහස් දැක්වීය.
“කුරුණෑගල - ගලගෙදර අධිවේගී මාර්ගය ඉදිකිරීමට ඉංජිනේරු ඇස්තමේන්තුව බිලියන 103 ක් වුවත්, හදන කම්පැනියේ යෝජනාව බිලියන 144 ක වියදමක් දැරීමට සිදුවන බවයි.
ඉඩම් අත්පත් කරගෙන මාර්ගය සැබෑවක් බවට පත් කිරීමේදී කිලෝමීටර් 39 කට විනාඩි 20 ක ගමන් කාලයක් අඩු කරගැනීම උදෙසා සිදුකරන ආයෝජනය රුපියල් බිලියන 200 ක් පමණ වෙනවා. ඒ වෙනුවට ගලගෙදරින් මහනුවරට මංතීරු 4 ක පුළුල් පාරක් සෑදීමට වැයවෙන්නේ රුපියල් බිලියන 10 ක් පමණයි.”