පසුගිය දිනවල ඇතිවූ ගැටුම් පසුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක බවත් ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව වෙත තිබූ ජාත්‍යන්තරය ශ්‍රි ලංකාව කෙරෙහි අවිශ්වාසය තබා ඇති බවත් නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මොණරාගල, වැල්ලවාය, හෙළසිහගම උදාගම්මානයේ නිවාස බෙදා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
"අද එක පිරිසක් තමන් දේශප්‍රේමී යැයි කියා ගනිමින් ජාති, ආගම් භේද ඇති කරනවා. මොවුන්ගේ සටන් පාඨය වී ඇත්තේ බුදු සසුන කෙළසෙනවා යන්නයි. අද රජයේ ප්‍රතිපත්තිය තුළ ලෝකයේ රටවල් අපේ රණවිරුවට අත තබන්නේ නැහැ. එය අප සිදු කළේ ලොව අනෙක් රටවල් සමඟ ගහ මරාගෙන නොවෙයි. අප එය සිදු කළේ සුවිශේෂි විදේශ ප්‍රතිපත්තියක් මත පිහිටා සිටයි. අද අපේ රට අධිරාජ්‍යවාදී බලවේග වලට යටපත් වී නැහැ. අද ඇති වී තිබෙන ජාති ආගම් කෝළාහළ නිසා අප මේ ලබාගත් ජයග්‍රහණය පළදු වීමට පටන්ගෙන තිබෙනවා. මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට උත්සහ කරන ඉතා සුළුතරයක් නිසයි. මේ හරහා රටම ගිනි කන්දක් බවට පත් කරන්නට මොවුන් උත්සහ කරනවා. මෙම පිරිසගේ අරමුණ කෙටි මාර්ගයකින් නැවත අරලියගහ මන්දිරයට හෝ ජනපති මන්දිරයට යාමයි.
පසුගිය දිනවල ඇති වූ සිදුවීම් නිසා දේපළ, මිනිස් ජීවිත මෙන්ම රටට ලැබෙන්නට තිබු ආධාර ටිකත් නැති වුණා. මෙවැනි විනාශයක් සිදු කරන්නේ ඇයි? මොවුන් මෙලෙස කටයුතු කරන්නේ සිංහල බෞද්ධාගම රැක ගැනීමට නොව ජාතිය, ආගම තුට්ටු දෙකට විකුණා ඒ තුළින් දේශපාලන අරමුණු ජය ගැනීමටයි. මේ සියල්ල පසුපස අප සියළු දෙනා දන්න දේශපාලන හස්තයක් ඇති බව මා පැහැදිලිවම ප්‍රකාශ කරනවා. මෙම හස්තය විසින් මෙම ඝාතන රැල්ල, ප්රචණ්ඩ හා මංකොල්ලකාරී ක්‍රියාවන් සිදුකළා. ඔවුන් මේ සම්බන්ධයෙන් විශාරදයන්.
ඔබ බෞද්ධයින් නම් මෙලෙස විනාශයන් සිදු නොකර ගම්වල වෙහෙර විහාර, දහම් පාසල් ආදිය ඉදි කරන්න යැයි මා ඔවුන්ට කියනවා. නමුත් ඒවා සිදු කළා කියා ඡන්ද ලැබෙන්නේත් නැහැ. ඒ සම්බන්ධව අත්දැකීම් හම්බන්තොටින් මා ලබා තිබෙනවා. එම නිසා ජාති ආගම් භේදය අවුස්සා ඡන්ද ලබා ගන්න ඔවුන් කටයුතු කරනවා. සැබෑ බෞද්ධයින් මෙවැනි හිංසන ක්‍රියාවන් සිදු කරන්නේ නැහැ. අපත් කිසි විටක මේවා අනුමත කරන්නේ නැහැ. අද රට තුළ ජාතිවාදය අවුස්සා නින්දිත ක්‍රියාවන් සිදු කරන්නේ බෞද්ධාගම සුරැකීමේ ජාතික ව්‍යාපාරයක් විසින් නොව, රට තුට්ටු දෙකට අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට නතු කිරීමේ මහා ජාතික කුමන්ත්‍රණයක් විසිනුයි. ජාති ආගම් භේදයෙන් තොරව අප සියළු දෙනා මේ රට රැක ගත යුතුයි."