ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ එකඟතාවෙන් අද (22දා) සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනයේ තීරණාත්මක සංශෝධනය වන්නේ මුදල් අමාත්‍ය ධුරය සංශෝධනය කිරීම බව වාර්තා වේ. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට විදේශ අමාත්‍ය ධුරය ලබාදී විදේශ අමාත්‍ය ධුරය දරන මංගල සමරවීර මහතාව මුදල් අමාත්‍යවරයා ලෙස පත්කිරීමට යෝජනා වී තිබුණත් රවි කරුණානායක මහතා ඊට දැඩි විරෝධයක් දක්වා ඇති බවද 'අද'ට වාර්තාවේ.
රවී කරුණානායක මහතාට මුදල් අමාත්‍ය ධුරය නොලැබුණොත් ඔහු පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමේ සූදානමකින් පසුවන බවටද ඊයේ රාත්‍රිෙය්දී වාර්තා විණි. එම නිසා රවී කරුණානායක මහතාට වෙනත් අමාත්‍යාංශයක් ලබාදී මුදල් අමාත්‍ය ධුරය අග්‍රාමාත්‍යවරයා යටතේ තබාගැනීම වඩා සුදුසු බවටද යෝජනා ඉදිරිපත් වී තිබිණි.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී ඊයේ (21දා) රාත්රියේදී පැවැත්විණි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පමණක් සහභාගි වූ මෙම සාකච්ඡාවේදී කැබිනට් සංශෝධනය සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ඉන් පසුව එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී රාත්‍රි 9.30ට පමණ පැවැත්විණි.එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී ඊයේ රාත්‍රියේ වෙනම හමුවී සාකච්ඡා කළ බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (22දා) උදෑසන 8.30 ට අතිවිශේෂ කැබිනට් හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී කැඳවනු ලැබ ඇති අතර, ඒ සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට හා රාජ්‍ය අමාත්‍යවරුන්ටද පැමිණීමට ආරාධනා කර තිබේ.
මෙම හමුවේදී යහපාලන ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර කිහිපයක් වෙනස් වීමට නියමිතව ඇති බව රජයේ ආරංචිමාර්ග තහවුරු කළේය.පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරය දැරූ ගයන්ත කරුණාතිලක මහතාට රාජ්‍ය පරිපාලන අමාත්‍ය ධුරයද, එම අමාත්‍ය ධුරය දැරූ රංජිත් මද්දුම බණ්ඩාර මහතාට ඉඩම් අමාත්‍ය ධුරයද ලබාදීමට ආණ්ඩුව එකඟතාවයට පැමිණ තිබේ.කෙසේවෙතත් ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කර රාජ්‍ය පරිපාලන අමාත්‍යධුරය ලබාදෙනවාට ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා සිය විරෝධය පළකර ඇති බවද 'අද'ට වාර්තා වේ.
එමෙන්ම නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ධුරට අජිත් පී පෙරේරා මහතාටද, අධිකරණ නීතිය හා සාමය අමාත්‍ය ධූරය සුජීව සේනසිංහ මහතාටද, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරය හර්ෂ ද සිල්වා මහතාද, පුනරුත්ථාපන නැවත පදිංචිකිරීම් හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය නිරෝෂන් පෙරේරා මහතාටද ලබාදීමට යෝජනා වී ඇති අතර, මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරය එරාන් වික්‍රමරත්න මහතාට පිරිනැමීමටද නියමිතව ඇති බව වාර්තා වේ.
මේ වන විට එක්සත් ජාතික පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පැමිණ දැනට අමාත්‍ය ධුර හොබවන ජයවික්‍රම පෙරේරා, ඩී. එම් ස්වාමිනාදන්, චන්ද්‍රානි බණ්ඩාර යන මහත්ම මහත්මීන් අමාත්‍ය ධුරවලින් ඉවත් කර, ඔවුන් සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහ ආණ්ඩුවේ උසස් තනතුරු ලබාදීමට යෝජනා වී ඇති බවද ප්රකාශවේ.
එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරනා අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, චන්දිම වීරක්කොඩි, දයාසිරි ජයසේකර, මහින්ද සමරසිංහ යන මහත්වරුන්ගේ අමාත්‍ය ධුරද මේ යටතේ වෙනස්වීමට නියමිතය. තිලක් මාරපන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍ය ධුරය සහ මෙම අමාත්‍යවරුන් තිදෙනා ඉවත් කිරීමෙන් අමාත්‍ය ධුර හතරක් පුරප්පාඩු වන බැවින් නව අමාත්‍ය ධුර හතරක් ලබාදිය හැකි වන අතර, ඒ අනුව මෙලෙස නියෝජ්‍ය අමාත්‍යවරුන් හතරදෙනෙකු සඳහා කැබිනට් අමාත්‍ය ධුර ලබාදීමටද යෝජනා වී තිබේ.
කෙසේවෙතත් අද පැවැත්වෙන විශේෂ කැබිනට් හමුවට නොවරදවාම සහභාගී වන ලෙස ජනාධිපතිවරයා ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට දැනුම් දී ඇත.කැබිනට් රැස්වීම් සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ අඟහරුවාදා උදේ වරුවේදීය.යහපාලන ආණ්ඩුවේ ඉතිරි කාලය නව මුහුණුවරකින් යායුතු බවට ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වයන් දෙකම යෝජනාකර ඇති අතර, ඒ අනුව මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකිරීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇත.
කෙසේවෙතත් තවදුරටත් මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ (21දා) රාත්‍රියේ පුවත්පත මුද්‍රණය වන විටත් විශේෂ සාකච්ඡා පැවතිණි.කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුවේ බලය පවත්වාගෙන යමින් කැබිනට් සංශෝධනය සිදුකිරීම ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් බලාපොරොත්තුව වන අතර අවසන් තීන්දුවකට පැමිණීමේදී බරපතළ අර්බුදයක් ඇතිවුවහොත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුනොවීමටද ඉඩ ඇති බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (23දා) ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතව ඇති අතර, එබැවින් අමාත්‍ය මණ්ඩල සංශෝධනය බරපතළ අර්බුදයකට ලක්වුවහොත් එය තවදුරටත් කල්යනු ඇත.