සත්ත්ව ගොවිපළවලින් ඉවත දමන සත්ත්ව අපද්‍රව්‍ය නිසි ලෙස යන්ත්‍රානුසාරයෙන් සකසා සත්ත්ව ආහාර බවට පත්කිරීමේ කර්මාන්ත ශාලාවක් හලාවත මාදම්පේ ප්‍රදේශයේ පවත්වාගෙන යමින් පරිසරයට බරක් වූ කුණු ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන කර්මාන්තකරුවෙක් දැවැන්ත උත්සාහයක නිරත වෙමින් සිටියි.
මාදම්පේ මහ වෙල්යාය ආසන්නයේ පරිසර හිතකාමී ලෙස පවත්වාගෙන යන මෙම කර්මාන්ත ශාලාව දැනට වසරකට පෙර ආරම්භ කළ බව එහි හිමිකරු ඩබ්ලිව්. චමින්ද මහතා පවසයි.
දිනකට ටොන් 20කට වැඩි ප්‍රමාණයක් කොළඹ මහනගර සභාව, කොලොන්නාව ප්‍රාදේශීය සභාව ඇතුළු දිවයිනේ විවිධ ස්ථානවලින් හා සත්ත්ව ගොවිපළවලින් ඉවත දමන කුකුළුන්ගේ සියලු අපද්‍රව්‍ය හා වෙනත් සතුන්ගේ සියලුම අපද්‍රව්‍ය කොටස් ශීතාගාර සහිත ලොරිවල ඉතා ආරක්ෂිතව ප්ලාස්ටික් බැරල්වල දමා මාදම්පේ කර්මාන්ත ශාලාවට රැගෙන එම සිදුකරන බව හෙතෙම පැවසීය.
එසේ රැගෙන එන සත්ත්ව කොටස් තාක්ෂණය උපයෝගී කරගනිමින් නියමිත උෂ්ණත්වයට සැකසීම සිදුවන ආකාරය දැකගත හැකිවිය. එසේම එසේ සැකසෙන සත්ත්ව අපද්‍රව්‍ය කොටස් නැවත අධිප්‍රෝටීන සත්ත්ව ආහාරයක් බවට පත්කිරීමෙන් පසුව නැවත සත්ත්ව ආහාර සකස් කරන කර්මාන්ත ශාලාවන්ට ලබාදීමට කටයුතු කර තිබේ. එසේම මේ වනවිට මෙම කර්මාන්ත ශාලාවේ 20කට වැඩි ප්‍රමාණයකට රැකියා අවස්ථා ලබාදී තිබෙන ආකාරයත් දැකගත හැකිවිය.
මේ පිළිබඳව අදහස් දැක්වූ ඩබ්ලිව්. චමින්ද මහතා,
“මම වසරකට ආසන්න කාලයක් වෙනවා මේ කටයුත්තට අතගහලා මේ වෙද්දි කෝටි දෙකකට ආසන්න මුදලක් මේ සදහා වැයවී තිබෙනවා. බරපතළ ප්‍රශ්න රැසකට මුහුණදීලයි මේ කටයුත්තට අතගැසුවේ දැනටත් විවිධ ප්‍රශ්න තිබෙනවා. මාව සමහර අය ගණන් අරන් ඉන්නෙ කසිප්පු ජාවාරම්කරුවෙක් විදිහට. වෙන රටක නම් අපට දෙන සහයෝගය ඉහළයි. නමුත් අපට තවමත් එහෙම නැහැ.
අපේ රටේ මේ පරිසරය වනසන, ගඳ ගස්සන සත්ත්ව අපද්‍රව්‍ය ටික ගේන්න ගිහාමත් විවිධ ප්‍රශ්න දානවා, විවිධ ආයතනවලින්. නමුත් පෞද්ගලික සත්ත්ව ගොවිපළවලින් අපට ඉහළ සහයෝගයක් ලැබෙන බවත් මතක් කරන්න ඕන. මේ වනවිට සත්ත්ව ගොවිපළවලින් ඉවත දමන කිසිම ප්‍රයෝජනයක් නැති දේවල් අපි අපේ තාක්ෂණය නිවැරදිව භාවිත කරලයි සත්ත්ව ආහාරයක් බවට මේ දේ පත්කරන්නෙ. තාමත් ලාභ නැති වුණත් දැනට යාන්තම් කර්මාන්තය ඉදිරියට යන්න හැකියාව තිබෙනවා.
මම ඉල්ලීමක් කරන්නේ අපට අතදෙන්න කැමැති රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවලින් සහයෝගය ලබාදෙන්න කියලා. එවිට මේ කර්මාන්ත ශාලාව ඉතාම ඉහළ මට්ටමකට ගෙනියන්න පුළුවන්. එවිට දැනකට අපි රැගෙන එන ටොන් 20 ඉහළ මට්ටමකට ගෙන එන්න පුළුවන්" යැයි පැවසීය.