වත්මන් ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පදනම බෞද්ධ ප්‍රතිපති හා මූලධර්ම බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය ආරක්ෂා කර බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි අද (21දා) විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“අපි අග්‍රගන්‍ය ප්‍රෞඩ බෞද්ධ ජාතියක්. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ තත්ත්වය සුරැකෙනවා. ඒ වාගේම බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය අපේ සමාජය තුළ ආරක්ෂා කෙරෙනවා. ඇත්ත වශයෙන්ම අපේ නව ව්‍යවස්ථාවට පදනම් වන්නේ බෞද්ධ ප්‍රතිපත්ති හා මූලධර්මයි. බුදුරජාණන් වහන්සේ ඉගැන්වූයේ වෛරයෙන් වෛරය නොසන්සිදෙන බවයි. අවෛරයෙන් වෛරය ජයගතයුතු බවයි. අද අපි ඉටු කර ගන්න බලාපොරොත්තු වන අරමුණෙහි හරය එයයි. ඒ වගේම ඉදිරියේදීත් අපේ ජාතියට මඟපෙන්වීම සඳහා මේ බෞද්ධ ඉගැන්වීම් කෙරෙහි අප විශ්වාසය තබනවා.” යැයි ඔහු සඳහන් කරයි.
මේ හරහා බලය බෙදීම, රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම ආදි කරුණු පිළිබඳව අවධානය යොමුකරන බවත් ඔහු පැවැසීය.
“මේ වාර්තාවෙන් අපේ රට මුහුණ දෙන බරපතළ අභියෝග කිහිපයක් ආමන්ත්‍රණය කර තිබෙනවා. වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කරලීම සඳහා රජය ප්‍රතිව්‍යූහගත කිරීමේ අවශ්‍යතාව අප හඳුනාගෙන තිබෙනවා. අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන්, දැඩි ලෙස මධ්‍යගත වූ පාලන ව්‍යූහය වෙනුවට ප්‍රාදේශීය කලාපවල අවශ්‍යතා ආමන්ත්‍රණය කළ හැකි ක්‍රමවේදයක් නිර්මාණය වෙනවා. බලය බෙදීම ප්‍රමුඛතාවක් වන්නේ ඒ නිසයි.
උතුරේ සිට දකුණ දක්වා සියළු පළාත්, බලය බෙදීමට සහය දක්වා තිබෙනවා. ඇත්ත වශයෙන්ම දකුණේ පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරු මෙහි ප්රමුඛ කාර්යභාරයක් ඉටු කළා. අපේ විවිධාකාර අවශ්‍යතා කාර්යක්ෂමව ආමන්ත්‍රණය කිරීම සඳහා අවශ්‍ය බලය බෙදීමේ මූලධර්ම සකස් කළේ ඔවුන්ගේ නිර්දේශ පදනම් කර ගෙනයි. රාජ්‍යයේ ස්වභාවය ආරක්ෂා කර ගන්නා අතරම පළාත් සභා වෙත වැඩි බලයක් බෙදාහැරීමෙන් පළාත් මට්ටමේ සංවර්ධනය ක්‍රියාත්මක කරවීම පිණිස රාජ්‍ය පාලනයේ දෙවන තලය නිර්මාණය කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න අපට හැකි වනවා.
අතුරු වාර්තාවේ ඇතුළත් යෝජනාවල කොටසක් වශයෙන් පළාත් පාලන ආයතන රාජ්‍ය පාලනයේ තුන්වන තලය වශයෙන් හඳුනාගනු ලබනවා. එමගින් විවිධ ප්‍රජාවන්හි විශේෂිත අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීමට ඉලක්ක ගත වියදම් හා විශේෂයෙන් සැකසූ රාජ්‍ය සේවා වඩාත් හොදින් සැපයීම පහසු කිරීමට බලාපොරොත්තු වනවා. මෙයටත්, එසේම මේ වාර්තාවේ ඇතුළත් අනෙකුත් යෝජනා බොහෝමයකටත් ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් පුළුල් සහයෝගයක් ලැබීම මට සතුටක්.
කෙසේ වෙතත් විධායකයේ සහ ජනාධිපතිවරයාගේ කාර්ය භාරය නිර්වචනය කිරීමේ කටයුතුවල තවත් නිරාකරණය කර ගත යුතු ක්ෂේත්‍ර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේත්, ජනතාව අතරත් පුළුල් සංවාදයක් අවශ්‍යයි. නමුත් වැඩි කල් නොගොස් ඒ සම්බන්ධයෙන් පොදු එකඟතාවයකට පැමිණෙන්නට හැකි බව අපට විශ්වාසයි.” යැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.