ඇමෙරිකාවේ, ෆ්ලොරිඩා කොන්ඩෝ ගොඩනැගිල්ල කඩාවැටීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 12ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවමත් අතුරුදන් වූ පුද්ගලයන් 149 දෙනෙකු සිටින බව බහුවිධ පරීක්ෂණ කණ්ඩායම් පවසයි.
ෆ්ලොරීඩා මුහුදු වෙරළට මුහුණලා පිහිටි කොන්ඩෝ ගොඩනැගිල්ල කඩා වැටීම සම්බන්ධයෙන් බහුවිධ පරීක්ෂණ පවත්වන බවට නිලධාරීන් අඟහරුවාදා පොරොන්දු වූ අතර, ඒ වෙනුවෙන් ජූරි සභාවක් කැඳවීමටත්, වෙනත් කිසිදු ගොඩනැගිල්ලකට මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා හැකි සෑම කෝණයකින්ම සමීපව බැලීමටත් පොරොන්දු වී තිබේ.
මියාමි-ඩේඩ් ප්‍රාන්තයේ නගරාධිපති ඩැනියෙලා ලෙවින් කැවා කියා සිටියේ තමන් සහ ඇයගේ කාර්ය මණ්ඩලය ඉංජිනේරු, ඉදිකිරීම් හා භූ විද්‍යා විශේෂඥයන් හමුවී ගොඩනැගිලි ආරක්ෂණ ගැටලු සමාලෝචනය කිරීමට සහ නිර්දේශයන් සංවර්ධනය කරමින්, මෙවැනි ඛේදවාචකයක් නැවත කිසි දිනෙක සිදු නොවන බව සහතික කිරීමට කටයුතු කරන බවයි.
විශේෂයෙන්ම මෙම ගොඩනැගිල්ල අබලන් තත්ත්වයක පැවති බවට ඊට දින කිහිපයකට පෙර යම් අනතුරු ඇඟවීමක් සිදුව තිබියදීත්, එය නොසලකා හැරීම සම්බන්ධයෙන් මේ වනවිට ඇතිවී තිබෙන කතාබහ හමුවේ නිලධාරීන් ෆ්ලොරීඩාහි ජනතාව අස්වසාලීමට උත්සාහ කර ඇත්තේ මෙලෙසිනි.
මෙසේ ගොඩනැගිල්ල බිඳවැටීමට හේතුව නිශ්චය කර ගැනීම සඳහා නිලධාරීන් උත්සාහ කරන අතරම, දිවි ගලවා ගත් අය සොයා ගැනීමේ උත්සාහය දිගටම කරගෙන යාමටද ඔවුන් පොරොන්දු වී තිබේ. මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවූ 6 වැනි දිනයේ, ආණ්ඩුකාර රොන් ඩෙසැන්ටිස් කියා සිටියේ ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම් අවසන් නොකරන බවය.
සර්ෆ්සයිඩ් නගරාධිපති චාල්ස් බර්කට් විසින් 2013 දී බංග්ලාදේශයේ, ඩකා අගනුවර ඇඟලුම් කම්හලක් කඩා වැටී 1,000කට අධික පිරිසක් මියගිය සිදුවීම උපුටා දක්වමින්, එම අනතුරින් දින 17කට පසුව ජීවතුන් අතර සිටියදී සොයාගත් කාන්තාවකගේ සිද්ධිය උපුටා දක්වමින් කියා සිටියේ, කිසිවෙකුත් මෙම මුදාගැනීමේ මෙහෙයුමේදීද බලාපොරොත්තු අත් නොහරින බවය.
මේ අතර ධවල මන්දිරය නිවේදනය කළේ ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යා ජිල් බයිඩන් බ්‍රහස්පතින්දා ෆ්ලොරීඩා හි සර්ෆ්සයිඩ් වෙත යන බවද කියා සිටියේය.