ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛතම වගකීමක් වන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරන ලෙස රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ ( කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පසුගිය 12 වනදින පැවති කෝප් කමිටු රැස්වීමේදී එම අධිකාරිය අයත්වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ළමා අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරුවූ ළමුන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම අරමුණු කරගනිමින් ජාතික ළමා ආරක්ෂා අධිකාරිය 1998 දී පිහිටුවා ඇතත් වසර 21 ක් මුළුල්ලේ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වීම පමා වී ඇති බව මෙහිදී අනාවරණය විය. මේවන විට සකස්කොට ඇති ජාතික ප්‍රතිපත්තිය සදහා අනුමැතිය ලැබී ඇති බැවින් එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම කමිටුව අවධාරණය කරන ලදී.
එම අධිකාරියේ 2016 ,2017, 2018 සහ 2019 වසරවලට අදාළ වාර්ෂික වාර්තා කිසිවක් පාර්ලිමේන්තුවට මේවන තෙක් ඉදිරිපත්කර නොමැති බව ද මෙහිදී අනාවරණය විය.මේ පිළිබද සිය දැඩි අප්‍රසාදය පළ කළ කෝප් කමිටු සභාපතිවරයා වහාම මේපිළිබද සොයාබලා අදාළ වාර්ෂික වාර්තා මාස 2ක් ඇතුළත අමාත්‍යාංශය හරහා පාර්ලිමේන්තුවට ලැබීමට සලස්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරියට උපදෙස් ලබා දුන්නේය.