ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ඉදිකිරීම් ක්‍රියාවලිය තුළ කිසියම් අක්‍රමිකතාවක්, මූල්‍ය අවභාවිතයක්, වංචාවක් හෝ නිසි ප්‍රමිතියට සිදු නොකිරීම සම්බන්ධ කිසියම් පැමිණිල්ලක් හෝ ගැටලුවක් වෙතොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ප්‍රධාන ව්‍යාපෘති ඉංජිනේරුවරයාට එම පැමිණිලි ඉදිරිපත් කිරිමට අවස්ථාව සලසා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ප්‍රධාන ව්‍යාපෘති ඉංජිනේරුවරයාගේ 0112786768 දරන දුරකථන අංකයට ඇමතිමෙන් හෝ ප්‍රධාන ව්‍යාපෘති ඉංජිනේරු, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති කාර්යාලය, 7 වැනි මහල, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනය මගින් අදාළ පැමිණිලි යොමු කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කරයි.
විවිධ දේශපාලන න්‍යාය පත්‍ර අනුව පෞද්ගලික අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් වෙහෙසෙන ඇතැම් පාර්ශවකරුවන්ට ළඟම පාසල හොඳම පාසල වැනි දැවැන්ත සංවර්ධන ක්රියාදාමයන්හි සැබෑ ප්රතිලාභ හඳුනාගත නොහැකි අතර, ඇතැම් පුවත්පත් සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය යොදාගනිමින් මෙම වැඩසටහන මගින් ඉදිකෙරෙන පාසල් සම්බන්ධ විවේචන සිදුකරන්නේ ද, වරින්වර පදනම් විරහිත චෝදනා එල්ල කරන්නේ ද, දරුවන්ගේ අනාගතය දෙස සුබවාදී ව දකින්නට අපොහොසත් වූවන්බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රටපුරා ස්ථාපිත කරමින් වඩාත් ගුණාත්මක අවස්ථා සියලු දරුවන් වෙත ළඟා කරවීමේ අරමුණින් හඳුන්වාදෙන ලද විශාලතම පාසල් සංවර්ධන වැඩසටහන ළඟම පාසල හොඳම පාසල වන අතර, ඒ යටතේ දිවයිනේ ජාතික හා පළාත් පාසල් 9,064ක් තුළ වැඩ ව්‍යාපෘති 18,000ක් යටතේ රුපියල් මිලියන 65,000ක මූල්‍ය ආයෝජනයක් මගින් භෞතික, යටිතල පහසුකම් හා මානව සම්පත් සංවර්ධනයට කටයුතු කරනු ලැබේ.
මේ යටතේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය සඳහා තෝරාගෙන ඇති පළාත් පාසල් සංඛ්‍යාව 8,782කි. ජාතික පාසල් සංඛ්‍යාව 282කි. මේ වනවිට ඉදිකිරීම් කටයුතු අවසන් කොට විවෘත කර ඇති පාසල් ගොඩනැගිලි සංඛ්‍යාව අතරින් නව ගොඩනැගිලි 950ක් එකවර අදියර තුනක දී සිදුකරන ලද විවෘත කිරීම් ලෙස සිසු අයිතියට පත් කෙරිණි. ( පළමු අදියර 200ක්, දෙවැනි අදියර 250ක්, තෙවැනි අදියර 500ක් වශයෙන්)
මේ වනවිට (2019 අගෝස්තු 31 දින වනවිට) සංවර්ධන අවශ්‍යතා සඳහා පාසල් වෙත රුපියල් මිලියන 35,539ක මූල්‍ය ප්‍රතිපාදන මුදාහැර ඇත. ඒ අනුව, 2016-2020 දක්වා සිවුවසරක ව්‍යාපෘති කාල රාමුව තුළ ක්‍රියාවට නැංවෙන ළඟම පාසල හොඳම පාසල වැඩසටහනෙහි සමස්ත මූල්‍ය ප්රතිපාදනයෙන් 65%ක් මේ වනවිටත් පාසල් පද්ධතිය වෙත නිකුත් කර අවසන් බව සඳහන්. ආරම්භ කර ඇති සමස්ත ව්‍යාපෘති අතරින් 82%ක වැඩ අවසන් කර ඇත.
මෙම වැඩසටහනට පාසල් තෝරාගැනීම සිදුකරනු ලැබුවේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදෙන ලද නිර්ණායක මත පදනම්ව, සංවර්ධන අවශ්‍යතා දැඩිව පවත්නා පාසල් කෙරෙහි ප්‍රමුඛතාව ලබාදෙමින් පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවල සංවර්ධන හා සැලසුම් අධ්යක්ෂවරුන් මගිනි.