අපරාධ සිද්ධියකට අදාළව රිමාන්ඞ් භාරයේ පසුවෙද්දී වැලිකඩ බන්ධනාගාරය තුළදී හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවකට වරදකරුවු කුඩු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජිවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
හෙරොයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්ත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්ත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට විත්තිකරුවන්ට දැඩි දැඩි දඬුවම් නියම කරන බව විත්තිකරුට දඬුවම් නියම කරමින් විනිසුරවරයා සඳහන් කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ මත්ද්‍රව්‍ය අපරාධයන් සම්බන්ධයෙන් පෙර වැරදි නවයක් ඇති පුද්ගලයකු වන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි නිරංජන් කුමාර නමැත්තාටය.
2012 මාර්තු මස 03 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරය තුළදී හෙරොයින් ග්‍රෑම් 3.44 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුකළ මෙහෙයුමකදී මෙම විත්තිකරු පරීක්ෂාවට ලක් කොට ඇති බවත් ඒ අවස්ථාවේ විත්තිකරු සුක්ෂම අන්දමින් මෙම හෙරොයින් තොගය සඟවාගෙන සිටියදී මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවත් නඩු විභාගයේදී හෙළි විය.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජිවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.