පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු සිසුවෙක් සහ ඔහුට ඒ සඳහා මත්කුඩු සපයන ජාවාරම්කරුවෙක් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමග මත්කුඩු ග්‍රෑම් 75 ,මෝටර් රථයක් ,ඒ ටී එම් කාඩ්පත් තුනක් ,ජංගම දුරකථන තුනක් පොලිස් බාරයට ගෙන ඇත.
හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ කාමරයක නේවාසිකව සිටින පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවෙක් ඉතා රහසිගත අයුරින් මත්කුඩු ජාවාරම සිදුකරන බවට හංවැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතාට ලද තොරතුරක් අනුව බුද්ධි නිලධාරීන් යොදවා ඉතා රහසිගතව මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී ඒ බව තහවුරු වීමෙන් අනතුරුව වැටලීම සිදුකළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සැකකරු තාවකාලිකව පදිංචි කාමරය පරික්ෂා කිරීමේදී මත්කුඩු ග්‍රෑම් 20 හා මත්කුඩු ජාවාරමේ තොරතුරු ඇතුළත් සටහන් පොතක් ද සොයා සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
එම සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී කඩුවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මිලදී ගන්නා මත්කුඩු නවාතැනේ දී පැකට් කර ගම් ප්‍රදේශය වන බලංගොඩට ගෙනගොස් එම ප්‍රදේශයේ පාලම් , බෝක්කු , විදුලි කණු ,දුරකථන කණු ,ආදී තෝරාගත් ස්ථානවල සඟවා ez cash ගණුදෙනු මාර්ගයෙන් ,ජංගම දුරකථනය හරහා ලැබෙන ඇමතුම් අනුව ඒ ඒ ස්ථාන වල මත්කුඩු පැකට් තබා තිබෙන දැනුම් දී මෙම ජාවාරම සිදු කරන බව අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙම පුද්ගලයා ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ඔහු ලවා කඩුවෙල පුද්ගලයාට දුරකතන ඇමතුමක් දී මත්කුඩු ග්‍රෑම් සීයක් ඇනවුම් කළ ද ඔහු විසින් දැනට ග්‍රෑම් 55 ක් පමණක් තිබෙන බවට පැවසීමෙන් අනතුරුව එම මත්කුඩු රැගෙන එම සැකකරු රණාල ප්‍රදේශය මෝටර් රථයෙන් පැමිණි අවස්ථාවේදී රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් ඔහුවද අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බියගම සහ බලංගොඩ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
සැකකරුවන් වයස අවුරුදු 27,හා 45 වන බවත් ඔවුන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියයි.