හෙරොයින් ග්‍රෑම් 29ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි හෙරෝයින් ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මරණීය දණ්ඩනය නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුගේ ක්‍රියාවෙන් සමාජයට සිදුවී ඇති ඛේදජනක තත්වය සැලකිල්ලට ගන්නා බවද විත්තිකරුට දඩුවම් පමුණුවමින් සඳහන් කළේය.
හෙරෝයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇතැයි පෙන්වා දෙමින් මෙවන් අපරාධකරුවන්ට දැඩි දඩුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිපදිමින් මෙලෙස දඩුවම් නියම කරන ලද්දේ මට්ටක්කුලිය පල්ලිය පාරේ පදිංචි නුවන් සංජීව නමැති 28 හැවිරිදි තරුණයකුටය.
2018 අපේ‍්‍රල් මස 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ ඉඟුරුකඬේ හන්දිය ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 29.71 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී කොළඹ ඉඟුරුකඬේ හන්දිය ප්‍රදේශයේදී වරාය දුෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් විත්තිකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 29.71 ක් සොයා ගෙන ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.
නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා අදාළ චෝදනාවන්ට ඔහු වරදකරු බවට තීරණය කළේය.
ඒ අනුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කළේය.