හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ වටිනා ශාක කොටස් ගලවා ඉවත් කිරීම ඇතුළු චෝදනාවන් හතකට වරද පිළිගන්නා ලද පුද්ගලයන් තිදෙනෙකු හට එක් අයෙකුට රුපියල් එක් ලක්ෂ හතලිස් දහස බැගින් රුපියල් හාර ලක්ෂ විසිදහසක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (20) නියෝග කරන ලදි.
මෙසේ දඩ නියම වුයේ ෆාලිකා රනිල් සේනානායක, දෙජාන් ෆැන්සිස් රිචර්ඩ් ද සොයිසා හා ශනිල් දේවක රත්නායක යන කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු හටය.
හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ නෙළු විශේෂ, ඕකීඩ් වශේෂ, බෝවිටියා විශේෂ හවුලේ එකතු කිරීම, එම ශාක කොටස් හවුලේ කපා ඉවත් කිරීම, උද්‍යානයේ ප්‍රේරක කලාපයේ තුළ වැඩෙන කොක්මොට ශාකය හවුලේ ගලවා ඉවත් කිරීම, ශාක කොටස් හවුලේ ආයුධ භාවිතා කරමින් කැපීමෙන් හා ගැලවීමෙන් ඉවත් කිරීම, යම් ශාකයකට හානි කළ හැකි ආයුධ හවුලේ සන්තකයේ තබා ගැනීම, ශාක විශේෂයන්ගෙන් ලබා ගත් ශාක කොටස් හවුලේ සන්තකයේ තබා ගැනීම හා හෝර්ටන්තැන්න උද්‍යානයට අවසර පත්‍රයක් නොමැතිව එක් සැකකරුවෙකු ඇතුළු වීම යන චෝදනාවන් උද්‍යාන නිලධාරීන් විසින් අධිකරණය හමුවේ ගොනු කොට තිබිණි.
එම එක් චෝදනාවකට එක් පුද්ගලයෙකුට රුපියල් විසි දහස බැගින් චෝදනාවන් හත සඳහා රුපියල් එක් ලක්ෂ හතලිස් දහස බැගින් තිදෙනා හට රුපියල් හාර ලක්ෂ විසි දහසක දඩ මුදලක් මෙසේ මහේස්ත්‍රාත්වරයා ගෙවන ලෙස නියම කරන ලදි.
හෝර්ටන්තැන්න උද්‍යානය භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර, නියෝජ්‍ය උද්‍යානය භාරකරු ටී. පී. දයාරත්න, අඩවි ආරක්ෂක ජයරත්න හා රියදුරු හතුරුසිංහ යන නිලධාරී මහතුවරුන් විසින් මෙම වැටලීම සිදු කොට සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
නීතිඥ සජීව කෞශල්‍ය ඩයස් මහතා සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින ලදි.
ශාන් හුලංනුගේ