හෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ නීතිවිරෝධි ලෙස රාත්‍රි කාලයේ කෘමි සතුන් ඇල්ලීමේ යෙදී සිටියදි සැකපිට අත්අඩංගුවට ගනු ලැබු චීන ජාතිකයන් දෙදෙනා මාර්තු මස 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (21) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබු චීන ජාතිකයන් දෙදෙනා හොර්ටන්තැන්න වනෝද්‍යානයේ අධිසංවේදී ප්‍රේරක කලාපය තුළ පසුගිය 18 දින රාත්‍රි කාලයේදී අල්ලා ගනු ලැබු විවිධ වර්ගයේ කෘමීන් විශේෂ 13ක ශරීර කොටස් හා හඳුනා නොගත් කුරුළු පිහාටු දෙකක් සන්තකයේ තබාගෙන සිටියදි හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ නිලධාරීන් විසින් මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබිණි.
මෙම චීන ජාතිකයන් දෙදෙනා සන්තකයේ තබා ගෙන සිටි කෘමීන් හා කුරුළු පිහාටු මෙරටට ආවේණික සත්ත්ව විශේෂද යන්න පිළිබඳව සොයා බැලීම පිණිස රජයේ රස පරීක්ෂකවරයාට හා ජාතික කෞතුකාගාරයට යවා පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර ඇති බව හොර්ටන්තැන්න වනෝද්‍යානයේ නිලධාරීන් විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසන ලදි.
එම වාර්තාව ලැබෙන තුරු චීන ජාතිකයන් දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලද අතර චීන ජාතිකයන් වෙනුවෙන් නීතිඥ එච්. එම්. සංජීව කෞෂල්‍ය ඩයස් මහතා පෙනී සිටින ලදි.