පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් වහාම සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර තිබේ.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක්‍රියා නොකිරීම මගින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙන්ම අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පතිවරයා ප්‍රබල ලෙස රාජකාරිය පැහැර ඇති බව සඳහන් කරමින් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කර ඇති නීතිපතිවරයා, මීට දින 05කට පෙර නිකුත් කළ මෙම නියෝගයට අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හේතු දක්වන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිඛිතව නියම කර ඇත.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද විජිත් මලල්ගොඩ කොමිසමේ අතුරු වාර්තාවේ සඳහන් නිර්දේශ මෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ තවත් අයවලුන්ගේ නොසැලකිල්ල හෝ පැහැර හැරීම සම්බන්ධයෙන් කරනු ලබන අපරාධ විමර්ශනය අනුව නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස නියම කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය දැනුම් දුන්නාය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හා එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකු ඇතුළු ඉහළම පොලිස් නිලධාරීන් නවදෙනෙකුට එරෙහිව හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද නීතිපතිවරයා විසින් මීට පෙර අවස්ථාවකදී අපරාධ වැඩබලන පොලිස්පතිවරයාට නියම කර තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර නමැත්තන්ට එරෙහිව අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදීමෙන් අනතුරුව එය සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද පසුගිය ජුනි මස 27 වැනිදා නීතිපතිවරයා විසින් වැඩිදුර උපදෙස් ලබාදී ඇත.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේදී මරාගෙන මැරුණු බෝම්බකරුවන් විසින් එල්ල කළ සමූහ ප්‍රහාරවලින් විශාල මනුෂ්‍ය ඝාතන ප්‍රමාණයක් හා අතිවිශාල දේපොළ හානියක් සිදු වූ බවත්, ඒ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පතිවරයාට සාපරාධී වගකීමක් ඇති බව විමර්ශනවල සාක්ෂි මගින් හෙළිව ඇති බවත් නීතිපතිවරයාගේ ලිපියේ සඳහන් කර ඇත.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ලංකා අපරාධ ඉතිහාසයේ බරපතළම අපරාධයක් බවට අවධාරණය කරන නීතිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා, අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පතිවරයා මෙන්ම මෙම සිද්ධියට වගකිවයුතු අයගේ වගකීම් පැහැර හැරීම හේතුකර ගෙන සිදු වූ මෙම අපරාධ මනුෂ්‍යත්වයට එරෙහි (Grave Crimes against Humanity) බරපතළ අපරාධ වශයෙන් ජාත්‍යයන්තර නීතියේ සඳහන් බවද අවධාරණය කර තිබේ.
හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පතිවරයාගේ අධික නොසැලකිල්ල හා තදබල අපරීක්ෂාකාරීත්වය හේතුවෙන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සිද්ධි වළක්වා ගැනීමට අපොහොසත්වී ඇති බව පෙන්වා දෙන නීතිපතිවරයා, මෙම අපරාධය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර නමැත්තන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන් මෙම සිද්ධියේ සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇත.
නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පසුගිය ජුනි මස 27 වැනිදා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිඛිතව මෙලෙස නියම කර තිබූ අතර, දින 05ක කාලයක් ගතවී ඇතත්, මේ දක්වා එම උපදෙස්වලට අනුව කටයුතු නොකිරීම බරපතළ කරුණක් වශයෙන් සලකන බවද දැනුම් දී ඇත.
තම උපදෙස් අනුව කටයුතු නොකිරීම සහ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඊයේ (01දා) දිනය තුළදීම ලිඛිතව හේතු දක්වන්නැයිද නීතිපතිවරයා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිඛිතව නියම කර තිබේ.