පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ධිවර පරීක්ෂක මහත්වරුන්ගේ අවසරයක් නොමැතිව හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු රැකියාවේ ගිය එක් දින ධීවර බෝට්ටුවක් අද [23] හම්බන්තොට කෝන්ගල මුහුදු තීරයේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් එක ධීවරයෙකු අතුරුදන්වී බරපතල තත්වයෙන් පසුවූ තවත් ධීවරයින් දෙදෙනෙකු හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇත.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ හම්බන්තොට ධීවර වරායෙන් අද අලුයම ධීවර රැකියාවේ ගිය OFRP-A-789 ධීවර යාත්රාවක් වන අතර මෙම දිවාර බෝට්ටුව අද පෙරවරු 7.00ට පමණ හම්බන්තොට කෝන්ගල මුහුදු තීරයේදී රළ පහරට හසුව පෙරලී අනතුරට ලක්ව තිබේ.
අනතුරින් බෝට්ටුවේ ගමන් ගත් ධීවරයින් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර එක් ධීවරයෙකු අතුරුදන්ව ඇත. මෙලෙස අතුරුදන්ව ඇත්තේ හම්බන්තොට පදිංචි 23 හැවිරිදි මොහොමඩ් කාසිම් මොහොමඩ් හසීප් නමැති පුද්ගලයෙකි. අතුරුදන් පුද්ගලයා සොයා මේ වන විට හම්බන්තොට නාවික හමුදා නිලධාරීන් හා ධීවර ජනතාව මෙහෙයුම් දියත්කර තිබේ.
හම්බන්තොට දිස්ත්රික් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ සහකාර අධ්යක්ෂක එල්.ගී.ටී චන්දන මහතා පවසා සිටියේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ධීවර ජනතාවට මුහුදු රැකියාවට නොයන ලෙසට දැනුම් දී තිබියදීත් එම අණ කඩකරමින් අද අලුයම කුඩා ධීවර බෝට්ටු කිහිපයක් රැකියාවේ ගොස් තිබු බවත් ඉන් එක බෝට්ටුවක් අද අලුයම 7.00 ට පමණ සැඩ පහරට හසුව විනාශ වී ඇති බවත් වාර්තා උනා.
පවතින තත්ත්වය උඩ ධීවරයින්ට ලබාදෙන උපදෙස් පිළිනොපදීමත් හා ජීවිතාරක්ෂක උපකරණ බෝට්ටුවල රැගෙන නොයාමත් නිසා මෙලෙස ජීවිත නිකරුනේ අහිමි වන බවද ඔහු පැවසීහ.