ජාතික නිවාස අධිකාරිය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සැමට සෙවණ නිවාස තනා දීමේ අනුව වැඩ අනුව නිවාස ගම්මාන 337 ක් ආරම්භ ඇතත් ඉන් වැඩ අවසන් කර ඇත්තේ නිවාස ගම්මාන 84 ක බව අනාවරණය වේ .
මේ බව අනාවරණය වුයේ පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සැමට සෙවණ නිවාස ව්‍යාපෘති තුළ ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීම සදහා පැවති රැස්විමකදීය .
මෙහිදී දිවයිනේ මේ ආකාරයෙන් නිවාස ගම්මාන 2562 න් වැඩ අවසන් කර තිබෙන්නේ 367 ක වන අතර ඉන් වැඩි වශයෙන් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කල දිස්ත්‍රික්කය වන්නේ හම්බන්තොට වන අතර එහි මේ ආකාරයෙන් නිවාස ගම්මාන 337 ක් ආරම්භ කර ඇත.
ඒ සදහා රුපියල් මිලියන 337කට අධික මුදලක්ද යොදවා ඇතත් ඉන් වැඩ අවසන් කර ඇත්තේ නිවාස ගම්මාන 84ක වේ. මෙහිදී තවත් නිවාස ගම්මාන 253 ක වැඩ අවසන් කිරිමට තිබෙන බවත් අනාවරණය විය .
මේ ආකාරයෙන් වැඩ අවසන් කර නොමැති ගම්මාන තුළ ණය ගම්මාන 190 ක් ග්‍රාම ශක්ති ආධාර ගම්මාන 14 ක් ඉන්දියන් ආධාර ගම්මාන 49 ක් ද ඇතුලත් වේ .එමෙන්ම පළවන වාරිකයද නිකුත් නොකළ ගම්මාන 35 ක් ඇති අතර එම ප්‍රදේශ අතර ලුණුගම්වෙහෙර 1 ක් ,තංගල්ල 13 ක් ,බෙලිඅත්ත 10 ක් ,වීරකැටිය 02 ක් ,අගුණුකොළපැලැස්ස 04 ක් කටුවන 02ක් ,සුරියවැව 2ක් ,තිස්සමහාරාම 01ක් වේ .
එමෙන්ම නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයට පමණක් බදවා ගෙන තිබෙන ග්රාමශක්ති නිලධාරීන් 680 කට පමණ රුපියල් 48,300 ක වැටුපක්ද ලබා දී ඇති අතර ඉන් නිවාස සංර්ධන අධිකාරියට විශාල පාඩුවක් සිදුවී තිබේ.
මෙහිදි අදහස් දැක්වූ පාර්ලිමෙන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා,
''කැලෑවල, වනජීවී ඉඩම්වල සහ අලිමංකඩවල්වල ගම්මාන හදන එක අපි ප්‍රතික්ෂේප කරනවා. ඒකට අපි අවසරයක් දෙන්නෙ නෑ. මේ කාරණා තුනට අදාළව සහ ඉදි කළ නිවාසවල ලැයිස්තුවක් හදාගෙන දිස්ත්‍රික් කමිටුවට යොමු කර රාජ්‍ය ඇමතිතුමාට ඒක යවන්න ඕන. හම්බන්තොට නව සංවර්ධන කලාපයේ අලිමංකඩවල්, වනජීවී ඉඩම්, වන සංරක්ෂණ ඉඩම්වල අනවසර ඉදිකිරීම් හෝ පදිංචිකිරීම් වෙන්න ඉඩතියන්න එපා. එහෙම වුණොත් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න අපිට සිද්ධ වෙනවා.
හම්බන්තොට අලුත් නගරය හරිත ගම්මානයක් ලෙස තමයි වරාය සහ ගුවන් තොටුපල, සූරියවැව තාක්ෂණික ගම්මානය අපි හදන්න බලාපොරොත්තු වෙන්නෙ. ඒක අපි 2010 හදපු සැලැස්ම. හරිත ගම්මානයක් කියනකොට තියෙන කැලෑ ටික සුද්ද කරන්න බෑ. වනසතුන් සහ මිනිස්සු එකට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක හදන්න ඕන. ඒක හදන්න වනසතුන්ගේ මංමාවත්, අලිමංකඩවල් හරස් කරලා බෑ. අපි අධිවේගී මාර්ගය සැලසුම් කර තිබුණේ අලිමංකඩවල් උස්සා මාර්ගය සකස් කළ හැකි ලෙසයි. නමුත් පසුගිය කාලෙ අගුණකොළපැලැස්සෙ කුඹුරෙන් යන ටික ගොඩ කරලා. ඒක නිසා ගංවතුර ගලනවා. ඒ ගැන හොයන්න අපි අමාත්‍යංශයට කිව්වා. පරිසරයට සංවේදී වෙන්න ඕන. සංවර්ධනය සාර්ථක වෙන්නෙ එතකොට. හම්බන්තොට අධිවේගී මාර්ගය හරිතකරණය කරන්නත් බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද වෙනකොට. එතකොට වනසතුන්ට පේන්නෙ ඒක කැළයක් විදියට.
දැන් අලුත් ආණ්ඩුවක් තියෙන්නෙ. ජනතා තීරණය කර ගත් අලුත් වැඩපිළිවෙලක් තියෙන්නෙ. පළමුව අපි ජනතාවගේ පැත්ත බලලා තමයි ගන්න තීන්දු තීරණ ගන්නෙ. ඒ නිසා අපේ ප්‍රතිරූපය හදන්න ඔබ හෝ ඔබතුමාලගේ අමාත්‍යංශයවත් පාවිච්චි කරන්නෙ නෑ අපි. ඒක අපේ ප්‍රතිපත්තිවලට අනුකූල නෑ.
ඊළඟ වසර කීපය තුළ අපිට සැලැස්මක් තියෙනවා නිවාස අමාත්‍යංශයේ. මේ රටේ හැම පවුලකටම වහලක් දෙන්න ඕන. ඒක තට්ටු නිවාස ක්‍රමයක් වෙන්න පුළුවන් නාගරික ක්රමවේදයෙදි. අර්ධ තට්ටු නිවාස ක්‍රමයක් වෙන්න පුළුවන් අර්ධ නාගරික ප්‍රදේශවල. ගම්මානවල තනි විසිරි නිවාස වෙන්න පුළුවන්. ඒ සැලැස්මට අනුව අපි වැඩ කරන්න ඕන. පසුගිය ආණ්ඩුවේ දේවල් කතාකර කර ඉඳලා වැඩක් නෑ අපිට අවශ්‍ය ඒ ගැටලුවලට විසඳුම් බවයි පාර්ලිමෙන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා කියාසිටියේ .