හඳුන්කූරු ‘බටය’ නිපදවන විශේෂිත උණ ශාකය ශ්‍රී ලංකාවේ වගා කිරීමට අදාළව අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
හඳුන්කූරු නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රවර්ධනය පිණිස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට ඊයේ (12) අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
හඳුන්කූරු නිෂ්පාදකයන් සමඟ පැවැති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව ඔවුන් මුහුණ දී ඇති ගැටලු හඳුනාගනිමින් ඒවාට කඩිනම් විසඳුම් ලබා දීම පිණිස අමාත්‍යවරයා ඉහත අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබිණි.
එහි දී හඳුනාගත් ප්‍රමුඛතම ගැටලුව වන හඳුන්කූරු නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් යොදා ගන්නා විශේෂිත උණ බට කූරු සපයා ගැනීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව විසඳා ගනිමින් එම කර්මාන්තයේ ප්‍රවර්ධනය පිණිස වන යෝජනා එම කැබිනට් මණ්ඩල සංදේශයේ ඇතුළත්ව තිබේ.
දේශීයව නිෂ්පාදනය කරන තෙක් හඳුන්කූරු නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් යොදා ගන්නා විශේෂිත උණ බට කූරු නියමිත ප්‍රමිතියෙන් යුතුව අවශ්‍ය ප්‍රමාණය විදේශ රටවලින් ආනයනය කිරීමට සහ එලෙස ආනයනය කරනු ලබන උණ බට කූරු සඳහා බදු සහනයක් ලබා දීමට එමඟින් යෝජනා කර ඇත.
එසේම මෙම උණ බට කූරු නිෂ්පාදනයට යොදා ගන්නා විශේෂිත උණ ශාකය (ගල් බම්බු Bambusa aspera) පවතින ප්‍රදේශ හඳුනාගැනීම හා එම ශාකය වගා කළ හැකි ඉඩම් හඳුනාගෙන වගා කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, සහ මහවැලි අධිකාරිය විසින් අවශ්‍ය පියවර ගැනීමට ද හඳුන්කූරු නිෂ්පාදනය සඳහා වැඩිදියුණු කළ තාක්ෂණික උපාංග හඳුන්වා දීම පිණිස ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ දායකත්වය ලබා ගැනීමට ද මේ අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.