වියට්නාමයේ ඩා නන්ග් කේන්ද්‍ර කරගනිමින් නව කොරෝනා වෛරසයේ යළි නැගිටීමක් වාර්තාවීමත් සමග එරට හැනෝයි අගනුවර මත්පැන් ශාලා වසා දැමීමටත්, විශාල රැස්වීම් තහනම් කරන ලෙසත් නගර පරිපාලනය නියෝග කර තිබේ.
ඩා නන්ග් ආසාදිත පොකුර ආශ්රිත ආසාදිතයන් හැනෝයි නගරයෙන් මෙන්ම, හෝ චි මිං නගරය ආශ්‍රිතවද හමුව ඇති බව මේ වනවිට අනාවරණය වෙමින් පවතී.
"අපි දැන් ඉතා වේගයෙන් වේගයෙන් ක්‍රියා කළ යුතුයි. වැඩිදුර දැනුම් දීමක් සිදු වන තුරු සියලු විශාල රැස්වීම් තහනම් කරනු ලබනවා" යැයි හැනෝයි නගරාධිපති ගුයීන් ඩක් චුන්ග් සඳහන් කළේය.
"ඩැනැන්ග් සිට හැනෝයි වෙත ආපසු පැමිණි 21,000කට අධික පිරිසක් සමීපව නිරීක්ෂණය කරනු ඇති අතර වේගවත් පරීක්ෂාවකට භාජනය වනු ඇති" ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
නව කොරෝනා වෛරසය මුල සිටම වඩාත් හොඳින්ම පාලනය කළ රටක් වන වියට්නාමය මේ දක්වා වෛරසයෙන් එකදු මරණයක්වත් වාර්තා නොකළ රාජ්‍යයකි. කෙසේ වෙතත් එරට තුළ මේ ආකාරයෙන් නව කොරෝනා වෛරසය යළි හිස ඔසවා ඇත.