කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 17 දෙනෙකු අද (26දා) හමුවීමෙන් පසුව පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිරිකෙත ජනපදය හුදෙකලා කිරීමට පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. කේ. ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පවසයි.
හිඟුරක්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිරිකෙත ගම්මානයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා වයිරසය ආසාදනයවී ඊයේ (25) දිනයේ මිය යාමෙන් පසුව ඒ පුද්ගලයාගේ ආශ්‍රිතයින් ඇතුලුව එම ගමේ පුද්ගලයන් 50 දෙනෙකුගේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ වාර්තා මගින් මේ කොරෝනා රෝගීන් හඳුනාගෙන ඇතැයිද ඒ මහතා කීය.
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරා දැනුම්වත් කිරීමෙන් පසුව එම ගම්මානය හුදෙකලා කිරීමට පියවර ගත් බවද වෛද්‍ය කුමාරවංශ මහතා සඳහන් කළේය.
කොරෝනා ආසාදිතයින් සියලුම දෙනා මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇතැයිද ඒ මහතා කීය.
හිඟුරක්ගොඩ,සිරිකෙත ජනපදයේ පවුල් 315කට අයත් පුද්ගලයන් 1150ක් පමණ වෙසෙන බව සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.