හංගේරියානු ජනාධිපති ජැනොස් ඇඩර් විසින් චීනයේ සීනොෆාම් විසින් නිෂ්පාදනය කරන ලද කොවිඩ්-19 ආරක්ෂණ එන්නත විදගෙන තිබේ.
මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා එරට ජනතාවට කියා සිටියේ හැකි ඉක්මනින් එන්නත ලබාගැනීම සඳහා ලියාපදිංචි වන ලෙසය.
චීනයෙන් නැව්ගත කරන ලද එන්නත් තොගය පසුගිය පෙබරවාරි 16 වැනි දින යුරෝපා රාජ්‍ය වෙත පැමිණ තිබුණු අතර, එන්නත් කිරීමේ වැඩසටහන පෙබරවාරි 24 වැනි දින දියත් කරන ලදී. චීනයේ සංවර්ධිත එන්නතක් යුරෝපා සංගමයේ රාජ්‍යයක පුරවැසියන්ට එන්නත් කළ පළමු වැනි රට බවටද හංගේරියාව පත්විය.
මීට අමතරව ෆයිසර්-බයෝඑන්ටෙක්, මොඩෙර්නා, ඇස්ට්‍රාසෙනෙකා සහ ස්පුට්නික් වී යන එන්නත් වලට හංගේරියාවේ හදිසි භාවිත අනුමැතිය ද ලැබී තිබේ. ඒ අනුව මෙම එන්නත් පහෙන් තමන් කැමති එන්නතක් තෝරා ගැනීමට මිනිසුන්ට නිදහස තිබේ.