කලවාන, කුඩව, සිංහරාජ වනාන්තරයේ පිවිසුම් ගේට්ටුවට මීටර් තුන්සියයක් පමණ දුරින් සිංහරාජ වනාන්තරයට මායිම්වන දොරණ ඇළ ආසන්නයේ වගාව සඳහා රජයෙන් බලපත්ර ගත් ඉඩමක නිසි අවසරයක් නොමැතිව බැකෝ යන්ත්රයක් යොදා පස් කපා ප්රවාහනය කිරීමේ ක්රියාවක් නැවැත්වීමට ක්රියාකළ බව සිංහරාජ වන පාලක අජිත් ජයසිංහ මහතා පැවසුවේය.
කුඩව, වතුරාව සිංහරාජ පිවිසුම් ගේට්ටුව ආසන්නයේ ඉඩමක පස් කපා ප්රවාහනය කරන බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් කුමන පියවරක් ගෙන ඇද්ද යන්න පිළිබදව කළ විමසුමකට පිළිතුරු දෙමින් වනපාලකවරයා ඊයේ (13) සවස මේ බව පැවසීය.
සිංහරාජ වනාන්තරය නැරඹීමට එන සංචාරකයන්ට නවාතැන් සපයන ලැගුම්හලක් ඉදිකරන කුඩව ප්රදේශයේ භූමියක් පිරවීමට මෙම ස්ථානයේ කැපූ පස් ප්රවාහනය කරන බවට ලද තොරතුරක් මත මෙම නියෝගය කළ බවද වනපාලකවරයා කීවේය. මේ පස්කැපීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන කලවාන අඩවිවන නිලධාරීවරයාට දැනුම් දුන් බවද වනපාලකවරයා පැවසීය.
අජිත්ලාල් ශාන්තඋදය