මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන ස්ථාන කිහිපයකින් 1980 අංක 57 දරණ මධ්‍යම සංස්කෘතික අරමුදල පනතට පටහැණිව යමින් පසුගිය 2016 ජනවාරි මාසයේ සිට 2019 ජූලි මස 30 වැනි දා දක්වා නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 1147ක් අයකරගෙන ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකින් හෙළිව තිබේ.
විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම විගණන වාර්තාව 2020 ජනවාරි මස 27 වැනි දින නිකුත් කර ඇති අතර, මෙහි දී විගණනයට ලක්කර ඇත්තේ 2016 ජනවාරි 01 වැනිදා සිට 2019 ජූලි 30 දක්වා ලැබූ ආදායම් පමණි. ඊට ඉහත අයකළ මුදල් මෙම විගණන වාර්තාවට ඇතුළත් වී නැති බවද සඳහන්.
1980 අංක 57 දරණ මධ්‍යම සංස්කෘතික අරමුදල් පනතේ 6(ඉ) ඡේදයට අනුව සංස්කෘතික ත්‍රිකෝණය වශයෙන් හඳුන්වනු ලබන ප්‍රදේශයට ඇතුළුවන ආගන්තුකයන්ගෙන් සහ සංචාරකයන්ගෙන් ප්‍රවේශ පත්‍ර ගාස්තු අයකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට නීතිමය හිමිකමක් ඇති අතර, එසේ වුව ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආදායම් ලැබීමේ ලේඛන අනුව සංස්කෘතික ත්‍රිකෝණයට අයත්වන ස්ථානවලට පිටතින් පිහිටි ගාල්ල, රම්බා විහාරය, අපේගම පරිශ්‍රය, කතරගම, යාපහුව හා බුදුරුවගල යන ස්ථානයන්ට ඇතුළුවන ආගන්තුකයන් සහ සංචාරකයන්ගෙන් ප්‍රවේශපත්‍ර ගාස්තුවක් අයකරගෙන තිබෙන බව වාර්ථා වේ.
කෙසේ නමුත් රජයේ විගණකාධිපතිවරයා පවසන්නේ මෙලෙස තම පනතින් ලැබී ඇති බලතල ඉක්මවා විවිධ ස්ථානවලින් ගාස්තු අයකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු කර ඇති බැවින් එම ස්ථානවලින් ගාස්තු අයකිරීම නීත්‍යානුකූල කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය විධිවිධාන සැළසිය යුතු බවයි.
2016 වර්ෂයේ සිට 2019 ජූලි මස 30 වැනි දින දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් එම ස්ථානවලින් මුදල් අයකරමින් ලබාගෙන ඇති ආදායම විගණන වාර්තාවේ දැක්වෙන පරිදි 2016 වර්ෂයේ දී මෙලෙස මුදල් අයකිරීමේ හැකියාවක් නොමැති ස්ථානවලින් රුපියල් 16,888,847.00ක මුදලක් ද, 2017 වර්ෂයේ දී රුපියල් 36,082,437.00ක ආදායමක් ද, 2018 වර්ෂයේ දී රුපියල් 42,600,154.00 මෙන්ම 2019 වර්ෂයේ ජූලි 30 වැනිදා දක්වා ලැබූ ආදායම රුපියල් 19,176,173 ලෙසද එවැනි ස්ථාවලින් උපයා ඇති බවද මේ අනුව වාර්තා වෙයි.
සජීව විජේවීර