පැහැරගත් බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවකගෙන් ප්‍රකාශ සටහන් කිරීමට ශ්‍රී ලංකා විමර්ශන කණ්ඩායම්වලට අවස්ථාව දෙන නමුත් මේ වන විට ඇය අසනීප තත්ත්වයකින් පසුවන හෙයින් ප්‍රකාශ සටහන් කිරීම සඳහා ඉදිරිපත් නොකරන බව ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ෆෙඩරල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රාජකාරී ආවරණය කරන කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කැඳවා මෙම විමර්ශන කටයුතු සඳහා සහාය දක්වන බවට ස්විට්සර්ලන්ත විදේශ ලේකම්වරිය වන පැස්කාලේ බේරිස්විල් මහත්මිය සඳහන් කර තිබේ.
මෙහිදී ශ්‍රී ලංකා තානාපතිවරයාට විදේශ ලේකම්වරිය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ විමර්ශන ආයතන විසින් කරන පරීක්ෂණ ප්‍රමාද කිරීමට ස්විට්සර්ලන්ත රජයට අවශ්‍යතාවක් නොමැති බවත් තම අමාත්‍යාංශය යටතේ සේවය කරන කාර්ය මණ්ඩලයේ වගකිම ඉතාමත් බරපතල ලෙස ගන්නා බවත්ය.
පසුගිය මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලයේ සේවය කළ සේවිකාවක පැහැරගෙන ගොස් තර්ජනය කළ බවට සිදුවීමක් වාර්තා වූ අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
මේ පිළිබඳව පරික්ෂණ අවසන් කිරීම සඳහා පැහැර ගැනීමට ලක්වූ බව කියන සේවිකාවගෙන් ප්‍රකාශ ලබාගැනීමට තවමත නොහැකි වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
එසේම ඒ සඳහා සහාය දක්වන ලෙසද විදේශ කටයුතු අමාත්‍යාංශය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් අදාළ සේවිකාවගෙන් ඊයේ දිනය වින විටත් ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකි වී තිබුණි.
ඒ ඇය අසනීප තත්ත්වයකින් පසුවන බවට සඳහන් කිරීම හේතුවෙනි. කෙසේ වෙතත් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාය ඇයගේ අසනීප තත්ත්වය පිළිබඳව තොරතුරු ඉදිරිපත් නොකළේය.
ස්විස්ඉන්ෆෝ වෙබ් අඩවිය හා ස්විට්සර්ලන්ත විදේශ කටයුතු ෆෙඩරල් දෙපාර්තමේන්තු වාර්තා ඇසුරෙනි