සූවස් ඇළ හරස් කරමින් සිරවී ඇති යෝධ බහාලුම් නෞකාව විශාල ටග් යාත්‍රාවන්, අමතර මඩ කැණීම් සහ වඩදිය ඇතිවන අවස්ථාව උපයෝගී කරගෙන එලැඹෙන සතියේදී නිදහස් කරගැනීමට මුදාගැනීමේ මෙහෙයුම භාරව සිටින නෙදර්ලන්ත සමාගම පවසයි.
මීටර 400ක් දිග මෙම දැවැන්ත නෞකාව පසුගිය මාර්තු 23දා අලුයම අධික සුළං සහිත අයහපත් කාලගුණය හේතුවෙන් මේ ආකාරයෙන් ඇළ මාර්ගය හරස් කරමින් සිරවූ බව සඳහන් විය. කෙසේ වෙතත් ලෝකයේ වඩාත් කාර්යබහුලම මුහුදු ප්‍රවාහන මාර්ගයක් වැසීයාම නිසා ගෝලීය නැව් ගමනාගමනයට දැඩි බාධා එල්ල විය.
ඒ අනුව ඇළ හරහා ප්‍රවාහනය වෙනුවෙන් පැමිණි විශාල බහාලුම් නෞකා ඇතුළු නෞකා 321ක් මේ වනවිට බලා සිටියි.
සෙනසුරාදා පැවති මාධ්‍ය හමුවකදී සූවස් ඇළ බලධාරීන් කියා සිටියේ මේ වනවිට ටග් යාත්‍රාවන් 14ක් මෙම මෙහෙයුමට සම්බන්ධ වී ඇති බවයි. කෙසේ වෙතත් වර්තමාන උත්සාහයන් සාර්ථක නොවන්නේ නම් නැවේ බහාලුම් ඉවත් කර එය සැහැල්ලු කිරීමට කටයුතු කරන බවද පැවසීය.
කෙසේ වෙතත් මෙම නෞකාවේ බහාලුම් එසවීමට ගුවන් යානාවලට නොහැකි වනු ඇති බවද බලධාරීහු පැවසූහ.
සිකුරාදා වන විට, මඩ කණින යන්ත්‍ර යොදා ගනිමින් නෞකාව සිරවී ඇති කොටස වටා වූ වැලි ටොන් 20,000ක් පමණ ඉවත් කර තිබූ නමුත්, වඩදිය ඇතිවන අවස්ථා පැමිණෙන තුරු මුදාගැනීමේ කණ්ඩායම් බලා සිටියි.
"සති අන්තයෙන් පසුව එය සිදු කිරීම අපගේ ඉලක්කයයි. නමුත් ඒ සඳහා සෑම දෙයක්ම නිවැරදිව ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති" යැයි බලධාරීන් සඳහන් කළේය.
ඊජිප්තුවේ සූවස් ඇල අධිකාරියේ ප්‍රධානී ඔසාමා රබී පවසන පරිදි, නැව් නැව ජල මාර්ගයේ සිරවීමට ප්‍රධාන හේතුව තද සුළඟ නොවන බවයි.
ඔසාමා රබී සෙනසුරාදා සූවස්හි පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ දැඩි සුළං සහ කාලගුණික සාධක නැව මෙසේ ඇළ හරස් කරමින් සිරවීමට ප්‍රධාන හේතු නොවන බවය. ඒ සඳහා නෞකාවේ තාක්ෂණික හෝ මානව දෝෂ පවතින්නට ඇති බව ඔහු සඳහන් කළේය.