රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා 'සුවසැරිය' ගිලන්රථ සේවාවේ නිර්මාතෘවරයා ලෙස පවසන්නේ කුමන පදනමකින්ද යැයි පාරිභෝගික අයිතිවාසිකම් සුරකීමේ ජාතික ව්‍යාපාරය (NMCRP) ප්‍රශ්න කරයි.
'සුවසැරිය' ගිලන් රථ සේවාව පිළිබදව අමාත්‍යවරයා විසින් අගෝස්තු 29දා නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ අත්සනින් යුතුව මෙම කරුණු පැහැදිලි කිරීම සිදුකර තිබේ. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙසේය.
"මෙරට ක්‍රියාත්මක වන ප්‍රමුඛම පාරිභෝගික සංවිධානය වන අප සංවිධානය 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ ලියාපදිංචි කරන ලද සංවිධානයක් බව පළමුවෙන්ම ඔබ වෙත දන්වන අතර, එසේ දන්වනු ලබන්නේ ඔබ නිවේදනයේ අප සංවිධානය පාරිභෝගික අයිතිවාසිකම් සුරකීමේ ජාතික ව්‍යාපාරය නැමැති සංවිධානයක් යනුවෙන් හඳුන්වන ලද නිසාය.
ඩොලරයේ අගය වැඩි වී රුපියල බාල්දු වීම ජනතාවට වාසිදායක යැයි කියූ ඔබ වැනි පුද්ගලයෙක් අප සංවිධානය එසේ හැදින්වීම පිළිබඳව හා මෙතෙක් අප සංවිධාන පිළිබඳව ඔබ නොදැන සිටීම පිළිබඳව අප පුදුම වන්නේද නැත.
ප්‍රථමයෙන්ම අපට ඔබ ගෙන් ඇසිය යුතුව ඇත්තේ ඔබ 'සුවසැරිය' ගිලන්රථ සේවාවේ නිර්මාතෘවරයා ලෙස පවසන්නේ කුමන පදනමකින්ද යන්නයි. මක්නිසාද යත් සුවසැරිය ගිලන් රථ සේවාව මෙරටට ලබා දුන්නේ මෙරට ජනතාව වෙනුවෙන් වන අතර, එම ගිලන්රථ සේවාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙත ලබාදීම සඳහා මූලිකවම කටයුතු කළේ ඉන්දියාවේ GVK සමාගමේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු වන කාතික් මහතා සහ වෛද්‍ය අසිත ද සිල්වා යන මහත්වරුන් බව අප සංවිධානය හොඳින් දන්නා බැවිනි. (පසුව ඔබ විසින් ඔවුන් අදාළ ව්‍යාපෘතියෙන් කපා දමන ලදී.) ඔවුන් විසින් අදාල යෝජනාව අග්‍රාමාත්‍යවරයා වෙත ගෙන එන අවස්ථවේ ඔබ එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා පමණක් වූ බව ඔබහට අද අමතක වූවත්, අපට අමතක වී නොමැත. ජයග්‍රහණයට පියවරුන් බොහෝ සිටියත් පරාජය අවජාතක යැයි යන කියමන අප ඉගෙන ගත්තේ ඉතා කුඩා කලදීය.
කෙසේ වෙතත්, 'සුවසැරිය' ගිලන්රථ සේවාව පවත්වාගෙන යනු ලබන GVK සමාගමට ගාලු වරායේ කොටසක් දීමට සූදානමක් ඇති බවට අප කරනු ලබන චෝදනාව අදටත් වලංගුවේ. අප එසේ ප්‍රකාශ කරන්නේ GVK සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ගාලුවරායේ මරීනා එකක් සෑදීම සඳහා කරනු ලබන යෝජනාවේ තම සමාගම ලංකාවේ 'සුවසැරිය' ගිලන්රථ සේවාව පවත්වා ගෙන යනු ලබන්නේ තමන් බව ඡායාරූප සහිතව සඳහන් කර ඇති නිසාය. ඔබ කියන ආකාරයට GVK සමාගම හා සුවසැරිය පවත්වාගෙන යනු ලබන ආයතන අතර, සම්බන්ධයක් නැත්නම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය නොමග යෑවීම පිළිබඳව GVK සමාගමට එරෙහිව නීති මගින් කටයුතු කරන ලෙස අප ඔබ ගෙන් ඉල්ලා සිටිමු. තවද, අප විසින් කළ චෝදනාව පිළිබඳව උරණව ප්‍රකාශ නිකුත් කිරීම තුළින් හා 'සුවසැරිය' ගිලන්රථ සේවාවේ නිර්මෘතෘවරයා ඔබ බව පැවසීම සම්බන්ධයෙන් ඔබගේ ආචාර්යය පදවිය පිළිබදව ප්‍රශ්න කිරීමට අපට සිදුව ඇති බවද ඔබට කණගාටුවෙන් දැනුම් දෙමු."