ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කිරීමට විරෝධය දක්වමින් එහි සේවකයන් පිරිසක් ආයතන පරිශ්රයයෙන් පිටතට හෝ ඇතුළට කිසිවෙකුටත් පැමිණිය නොහැකි ලෙස බිම වාඩිවී විරෝධතාවයේ නිරතව සිටිති.
එම ආයතනයේ සේවකයන් විසින් ඊයේ (18දා) වෘත්තිය සමිතියක් ආරම්භ කර ඇති අතර එම වෘත්තීය සමිතිය ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළ සේවකයන් 15 දෙනෙකුගේ සේවය මෙසේ තහනම් කර ඇතැයි එම ආයතනයේ ප්රකාශකයෙක් සඳහන් කළේය.
ස්වර්ණවාහිනී ආයතනයේ සේවය කරන සේවකයන් 300කගෙන් 270ක පමණ පිරිසක් මෙම වෘත්තීය සමිතිය හා එක්ව තිබේ. වැඩ තහනම් කර ඇති පිරිස අතර එම වෘත්තීය සමිතියේ සභාපති, ලේකම් ඇතුළු නිලධාරී මණ්ඩලය හා ඊයේ ඔවුන් පැවැත්වූ රැස්විමේදී අදහස් ප්රකාශ කළ පිරිසද වන බව එම ප්රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සේවය තහනම් කර ඇති පිරිස පොලීසියට පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඔවුන් කම්කරු කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡාවකටද එක්විය.
කෙසේ වෙතත් මෙසේ ඉවත් කළ සේවකයන් පිරිස යළි සේවයට බඳවා ගන්නා ලෙස බලකරමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරතව සිටිති.