කොරෝනා වසංගත තත්ත්වය මර්දනය කිරීම සදහා ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් ස්වයං නිරෝධායනයට යොමුකරන ලද සංචාරක මගපෙන්වන්නෙකු නිරෝධායන කොන්දේසි උල්ලංඝනය කළේ යැයි ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් දස දහසක දඩයක් නියම කළාය.
මෙසේ දඩ නියම කරන ලද්දේ නො 10 ඒ, හිරිඹුර පටුමග, ගාල්ල යන ලිපිනයේ පදිංචි මෙරිෂාඩ් මොහොමඩ් (37) නැමැති අයටය.
සැකකරු සංචාරකයින් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථයක රියදුරෙක් වන අතර ඔහුගේ වෑන් රථයේ ගමන් කරන ලද සංචාරකයින්ට කොරෝනා රෝගය වැළඳි ඇති බවට වු සැකය මත ගාල්ල, හිරිඹුර කොට්ඨාසය බාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් ඔහුගේ අධික්ෂණය යටතේ පසුගිය මාර්තු 30 වන දින සිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.
නමුත් ඔහු ස්වයං නිරෝධායන කොන්දේසි උල්ලංඝනය කර අසල්වාසි ප්‍රදේශවල සංචරණය කර තිබේ. මේ බව අදාල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අතිරේක මහේස්ත්‍රාත්වරිගේ නියෝග පරිදි සැකකරු බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඔහුට විරුද්ධව අද (18) දිනයේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නඩු පවරා තිබේ.
ස්වයං නිරෝධායන ආඥාවට අකීකරුවිම සහ නොසැලකිලිමත් ලෙස නිවාස වෙත සංචරණය කිරිම යන චෝදනා යටතේ මොහුට විරුද්ධව ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් නඩු පවරා තිබුණි.
ගාල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වන එල් එල් ඉන්දික චාමින්ද සහ චිරන්ත ගුරුගේ යන මහත්වරුන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.
තමිදු මධුසර ලියනගේ