ස්වාධීන කොමිෂන් සභා නවයෙහි සභාපතිවරුන් සහ සාමාජිකයන් වෙත දැනට ගෙවනු ලබන දීමනා වැඩි කිරීමේ යෝජනාව පර්ලිමේන්තුවේදී අද (09දා) සම්මත විය.
නිල බලයෙන් පත්වන සභාපතිවරුන් හැර අනෙකුත් සභාපතිවරුන් සඳහා දැනට ගෙවනු ලබන රුපියල් 100,000ක මාසික දීමනාව රුපියල් 135,000 දක්වා වැඩි කිරීම, වැටුප් හා දීමනාවලට අතිරේකව සභාපතිවරයෙකුගේ මාසික දීමනාවෙන් 50%ක මාසික දීමනාවක් ගෙවීමටද මෙමගින් යෝජනා කර ඇත.
තවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හැර අනෙකුත් ස්වාධීන කොමිෂන් සභාවල නිල බලයෙන් පත් නොවන සාමාජිකයන් සඳහා දැනට ගෙවනු ලබන රුපියල් 75,000ක මාසික දීමනාව රුපියල් 90,000 දක්වා වැඩි කිරීමටද නිල බලයෙන් පත්වන සාමාජිකයන් එක් රැස්වීම් වාරයකට සහභාගි වීම වෙනුවෙන් රුපියල් 10,000ක දීමනාවක් ගෙවීමටද යෝජනා කර තිබේ.
අල්ලස් කොමිසමේ සභාපතිවරයාට හා සමානව සාමාජිකයන්ටද බලතල පවරා ඇති බැවින් එම සාමාජිකයන්ට දැනට ගෙවනු ලබන රුපියල් 95,000ක මාසික දීමනාව රුපියල් 130,000 දක්වා වැඩි කිරීම හා දැනට ගෙවනු ලබන අනෙකුත් දීමනා තවදුරටත් ඒ අයුරින්ම ගෙවීමටද යෝජනා කරන ලදී. එම යෝජනාව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී අද සභා සම්මත විය.