ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වනවාද නැද්ද යන්න සම්බන්ධ අවසන් තීරණය හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ගන්නා බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද (13දා) පැවසීය.
සමාජවාදී ජනතා පෙරමුණ මගින් බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවත් වූ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීන වීමට තීරණය කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර සම්බන්ධව ගැටලුවක් ඇතිවිය හැකි වුවද එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කර තේරී පත් වූ අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන්ට ගැටලුවක් ඇති නොවන බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
මේ අතර බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමෙන් පසුව මන්ත්‍රී ධුර අහෝසි කළහොත් ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයන් සියලු දෙනා මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින අය බවයි.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කළ සියලු අපේක්ෂකයන් ඒකාබද්ධ විපක්ෂය සමඟ සිටින බවත්, දැනට සිටින මන්ත්‍රීවරුන් ඉවත් කළද එය ඒකාබද්ධ විපක්ෂයට ගැටලුවක් නොවන බවත් හෙතෙම පවසා සිටියේය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන වන බවට ප්‍රකාශයක් සිදුකළද විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට නොලැබෙනු ඇති බවයි.