ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලු ජාතීන් නියෝජනය කරන, සෑම ජන කොට්ඨාසයක ම අයිතීන් ආරක්ෂා කරන එකම දේශපාලන පක්ෂය යැයි පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (30) මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රදේශයේ පැවති හමුවක් අමතමිනි.
ලංකා දේශපාලනයේ අලුත්ම දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනැගුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ලංකාවේ ජනප්‍රියම දේශපාලන පක්ෂය බවට පත්ව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
රටේ ඉදිරි ගමන තහවුරු කිරීමේ හැකියාව ඇති අපේක්ෂකයින් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත්lr ඇති බවද කී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ වැඩකිරිමේ හැකියාව ජනතාව ඉදිරියේ පෙන්වා දී තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙවර මැතිවරණයේදී ජනතාව තුනෙන් දෙකක බහුතර බලයක් ලබා දෙන බව දැඩි සේ විශ්වාස කළ බවයි.
ලංකා සමසමාජ පක්ෂය, නව වාමාංශික පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු වාමාංශික පක්ෂ රැසක්ද මේ වන වටිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අත්වැල් බැඳගෙන ශක්තිමත්ව මැතිවරණයට මුහුණ දෙමින් සිටියි.
පිරිසිදු පානීය ජලය ලබා දීමට රජය ගෙන යන වැඩපිළවෙල සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 42 %ක ප්‍රමාණයකට පමණක් පිරිසිදු පානීය ජල පහසුකම ලබාදී ඇති බවයි. සියලු ජනතාවට පිරිසිදු පානීය ජල පහසුකම ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙල මේ වනවිටත් සකසමින් පවතියි.
ගම්මිරිස්, කරුංකා, සියඹලා , කුරුදු, කරාබු නැටි ආදී සුළු අපනයන භෝග වගාවේ නිරත ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව ඇතැයි මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.